Gossips

බහින්බස් වීමක් දුරදිග ගොස් එක් අයෙකු මරුට

අම්බලන්තොට උහපිටගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදු වූ පහරදීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට මාමඩල බැමිණියන්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වන එස් එම් කසුන් එරන්දික නැමති අයෙක්.
මියගිය පුද්ගලයා විවාහක අයෙකු වන අතර ඔහු මීට මාස 03කට පමණ පෙර සිට බිරිඳගෙන් වෙන්ව ජීවත්ව සිට ඇති අතර මිය ගිය පුද්ගලයා සහ තවත් 4 දෙනෙකු ඊයේ(14) අම්බලන්තොට උහපිටගොඩ බිරිඳගේ නිවසට පැමිණ බිරිඳගේ සොහොයුරාට ආයුධයකින් පහර දී තුවාල සිදුකර නිවසට ද හානි සිදු කර ආපසු යමින් සිටිය දී කිසියම් අයෙකු අතින් ඝාතනයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් හුංගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර මේ වන විට සැකකරුවන් 4 දෙනෙකු ද අත්තඩංගුවට ගෙන තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ සිරුර අම්බලන්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු හම්බන්තොට රෝහලේ සහ එක් අයෙකු අම්බලන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට