Gossips

බස් හිමියන් 10%කට වැඩි, ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාම සහ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පදනම් කරගෙන ලබන සතියේ සිට සියයට 10කට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු වැඩි විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අවම බස් ගාස්තුව ද එහිදී ඉහළ යා යුතු බවයි.
එමෙන්ම ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය අද පෙරවරුවේ නුගේගොඩ නගරයේ මාර්ගය මධ්‍යයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
ඊට එක්වූ එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.
ලබන සඳුදා වන විටත් එම සහනාධාරය ලබා නොදෙන්නේ නම්, දෙවන කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව ද ඉහළ නංවන බව ඔහු සඳහන් කළා.
මේ අතර, ඊයේ පස්වරුවේ ඇතැම් ඉන්ධනහල් විසින් ඉන්ධන අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබද පැමිණිලි තමන් වෙත ලැබුණු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
ඒ අනුව සිය නියෝජිතයින් සිදුකළ විමර්ශනයකදී පානදුර, මන්නාරම, වව්නියාව, යාපනය, මහනුවර, පොළොන්නරුව යන ප්‍රදේශවල ඉන්ධනහල් කිහිපයක් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කර තිබූ බවට අනාවරණ වූ අතර ඊට අදාළව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද එම අධිකාරිය ප්‍රකාශ කළා.