Gossips

බස් සේවක වර්ජනය ඇරඹේ – දුම්රිය වර්ජනය නවතී

යෝජිත නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වර්ජනයක් ක්‍රියාත්මක වුවද සුපුරුදු පරිදි බස් ධාවනය වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක කියා සිටියේ අද (10) දිනයේ ආරම්භ කර ඇති වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවයි.
මෙම වර්ජනයට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සමිති සම්මේලනය සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහය නොදැක්වීමට තීරණය කර තිබෙනවා.
සිංහල අලුත් අවුරුදු සමයේ වර්ජනය කිරීම කිසිසේත් සුදුසු නොවන බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය අසාර්ථක බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ.
මේ අතර, දුම්රිය රියදුරන්, නියාමක, ස්ථානාධිපති හා දුම්රිය පාලක මෙන්ම අධීක්ෂණ කළමනාකරුවන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවා තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය අනුමත වැටුප් පරිමාණ ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජනක ප්‍රනාන්දු කියා සිටියේ.