Gossips

බස් සේවකයින් පරාජය භාරගනී

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද දින ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත බස් වර්ජනය අසාර්ථක වුණා.
ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේදීයි. ඒ, යෝජිත දඩ මුදල් ඉහළ නැංවීමට විරෝධය පළ කරමින්.
බස් සේවක සංගම් එලෙස පැවසුවද, කොළඹ ඇතුළු පිට පළාත්වලද අද දිනය පුරා සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මෙම වර්ජනය ක්‍රියාත්මක කළ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක පැවසුවේ වර්ජනය අසාර්ථක වූ බව තමන් පිළිගන්නා බවයි.
මේ අතර, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
කෙසේ වෙතත්, ඔවුන් අද කොළඹදී විරෝධතා පාගමනක නිරත වුණේ ආදේශක, අනියම් හා තාවකාලික සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලමින්.