Gossips

බස් සංගම් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම මුල්කර ගනිමින් පෞද්ගලික බස් ගාස්තු සියයට 10කින් පමණ සංශෝධනය විය යුතු බව බස් සංගම් පවසනවා.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ගාස්තු සංශෝධනය සඳහා සලකා බැලෙන අනෙකුත් පිරිවැයද මේ වනවිට ඉහල ගොස් ඇති බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවයි.
බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවට බස් සංගම් සිදු කරන ඉල්ලීම් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍රගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ නව ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් පසු බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කළ හැකි බවයි.