Gossips

බස් සංගම් අනතුරු අඟවයි

වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව, බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව ලබන සතියේ සිට අනිවාර්ය ලෙස බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජාතික ප්‍රතිපත්තියට අනුව ඩීසල් පිරිවැය සියයට 4 කින් සංශෝධනය වන්නේ නම් බස් ගාස්තු සංශෝධනය පිළිබඳව තීරණයක් ගැනීමට බස් සංගම් වලට ද හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ පසුගිය මැයි මාසයේ සියයට 12 යි දශම 5 කින් බස් ගාස්තු සංශෝධනය වන අවස්ථාවේ කැබිනට් මණ්ඩලය විසින් එම ජාතික ප්‍රතිපත්තිය අහෝසි කළ බවයි.
කෙසේ වෙතත්, මෙම වර්ෂය තුළ වරින්වර ඩීසල් මිල රුපියල් 24 කින් ඉහළ ගොස් තිබීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ වනවිට විදෙස්ගතව සිටින බැවින් ඔහු දිවයිනට පැමිණි පසු මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අදාළ ගාස්තු සංශෝධනය පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ද අවධානය යොමුව ඇති බවයි වෘත්තීය සංගම් සඳහන් කළේ.