Gossips

බස් සංගමයක් යළි වර්ජනයකට සැරසේ

රජය පොරොන්දු වූ පරිදි සියයට 12 යි දශම 5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනය සිදුකළ හැක්කේ සියයට 9 ක හෝ 10 ක ප්‍රතිශතයකින් පමණක් බවයි.
නිර්ණායක 12 ක් පදනම් කරගනිමින් සකස් කර ඇති බස් ගාස්තු පිළිබද ජාතික ප්‍රතිපත්තිය තුළින් මගී ජනතාවත්, බස් කර්මාන්තකරුවාත් ආරක්ෂා වන පරිදි සකසා ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.
ඩීසල් මිල ඉහළ යාම සහ සෙසු නිර්ණායක සැලකිල්ලට ගත් කළ මෙවර බස් ගාස්තු සංශෝධනය සිදුවිය යුත්තේ සියයට 9ක හෝ 10 ක ප්‍රතිශතයකින් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර කියා සිටියේ සියයට 12 යි දශම 5 ක ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ නොදැමුණහොත් වර්ජනය දියත් කරන බවයි.
එසේම, ඇතැම් බස් වෘත්තීය සමිති කරන ප්‍රකාශ හෙලා දකින බව ද ඔහු කියා සිටියා.