Gossips

බස් රථ සේවක වර්ජනය අසාර්ථකයි

බස් රථ සේවක සංගම් කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වර්ජනයෙන් ගමනාගමන කටයුතුවලට සැළකිය යුතු බලපෑමක් සිදුව නොමැති බව වාර්තාවනවා.
අප වාර්තාකරුවන් පවසන්නේ සමස්තයක් ලෙස පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
කෙසේ වෙතත් ඇතැම් දිස්ත්‍රික්කයන්හි ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනයේ අඩුවක් අද පෙරවරුවේ දක්නට ලැබුණු බවද වාර්තා වුණා.
නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේදියි.
රජයේ ප්‍රගතිශීලී රියදුරු සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහාලුම් රථ සංගමය සහ කොළඹ නගරාන්තර ත්‍රිරෝද රථ සංගමයද මෙම වර්ජනය එක්වන බවයි අද පෙරවරුවේ සඳහන් වුණේ.
යම් හෙයකින් පෞද්ගලික බස් රථ සේවක වර්ජනයෙන් දැඩි බලපෑම් එල්ලවුවහොත් අතිරේක ලංගම බස් රථ ධාවනයට එක් කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.
කෙසේ වෙතත් බස් රථ හිමිකරුවන්ගේ සංගම් සහ බස් රථ සේවක සංගම් අතර මෙම වර්ජනය සම්බන්ධයෙන් දක්වන්නේ එකිනෙකට පරස්පර අදහස්.
මේ අතර දුම්රිය සේවකයන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ දුම්රිය වෘත්තිය සම්ති අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.