Gossips

බස් රථයකින් මත්කුඩු රැගෙන ගිය සැකකරුවෙකුට වෙඩි වදී

පොළොන්නරුව – බැදිවැව ප්‍රදේශයේදී මත්කුඩු රැගෙන බස් රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී පොලීසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
කොළඹ සිට කදුරුවෙල දක්වා හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව පොළොන්නරුව විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් අද පස්වරුවේ හබරණ ප්‍රදේශයේදී අදාළ බස් රථය පරීක්ෂා කර තිබෙනවා.
එහිදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පලායාමට උත්සාහ කර ඇති අතර එහිදී සිදුවූ පොර බැදීමකදී පොලිස් නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මක වීමෙන් මෙය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.
තුවාල ලැබූ සැකකරුට අමතරව, අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 210 ක් ද සොයා ගෙන තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා පොළොන්නරුව – සෝමාවතිය පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් සැකකරු මින්නේරිය – හේන්යාය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.