Gossips

බස් නොමැති බවට මගීන්ගෙන් චෝදනා – මගීන් නොමැති බවට බස් හිමියන්ගෙන් මැසිවිලි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාව යළි පැමිණීමේදී ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබීම හේතුවෙන් අපහසුතාවට පත්වූ බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
බොහෝ ප්‍රදේශවල බස් රථ අද (15) පෙරවරුවේ ධාවනය නොවූ බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා.
හෙට (16) දිනයේදී බොහෝ ආයතනවල අලුත් අවුරුද්දෙන් පසු රාජකාරී කටයුතු ආරම්භ කරන බැවින් බස් රථ ප්‍රමාණවත් නොවන බවයි මගී ජනතාව පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, බස් රථ රියදුරන් ප්‍රකාශ කළේ තමන් බස් රථ ධාවනය කිරීමට පැමිණිය ද ප්‍රමාණවත් තරම් මගීන් නොමැති බවයි.
ප්‍රමාණවත් පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය පසුගිය සිකුරාදා සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේ සිට ලබන 23 වැනිදා දක්වා ප්‍රවාහන පහසුකම් ලබාදීමට බස් රථ ධාවනයට එක්කර ඇති බවයි.
අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියා.
එමෙන්ම, දුම්රිය දෙපාර්තමේන්තුවද අද (15), හෙට (16) සහ අනිද්දා (17) මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ධාවන වාර කිහිපයක් යෙදවීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 7.20 ට කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වාත්, පස්වරු 7 ට මාතර සිට මරදාන දක්වාත්, විශේෂ දුම්රිය කිහිපයක් යොදවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී තිබෙනවා.
අධිවේගී මාර්ග නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ පසුගිය සතිය තුළ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම රුපියල් මිලියන 28 දක්වා ඉහළ ගොස් ඇති බවයි.