Gossips

බස් ගාස්තු ගැන තීරණය අද

ඉන්ධන මිල පහළ යාමත් සමග බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය අද රැස්වනවා.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අද දහවල් පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.
මේ අතර, ඉන්ධන මිල අඩු කළද, බස් ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන සදහන් කළේ පළමු කිලෝමීටරය සඳහා අය කරන මුදල රුපියල් පනහ දක්වා අඩු කිරීමට තම සංගමය බලාපොරොත්තු වන බවයි.
පසුගියදා බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව 2% කින් බස් ගාස්තු පහත දැමීමක් සිදුකෙරුණා.