Gossips

බස් ගාස්තු ඉහළ නංවන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය එකඟතාව පළ කර තිබෙනවා.
ඊට අදාළ යෝජනාව අද (15) දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පෞද්ගලික සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් ගාස්තු මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු ද යන්න පිළිබදව එහි දැක්වෙනවා.
බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ අතර ඊයේ (14) ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී ඒ පිළිබදව සාකච්ඡාවට බඳුන් වී ඇති බව සඳහන්.
එම තීරණ අද (15) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ජුලි මස 01 වන දා වාර්ෂිකව බස් ගාස්තු සංශෝධනය සිදුවිය යුතු අතර, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙවර සියයට 20ක ගාස්තු සංශෝධනයක් අපේක්ෂා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මීට පෙර කියා සිටියා.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.