Gossips

බස්නාහිර සභාවට ලක්ෂ හයේ පුටු මිලට ගැනීම තාවකාලිකව නවතී

බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් 640,000 ක් වටිනා පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගේ නියෝගයකට අනුවයි.
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සභා ශාලාව සදහා රුපියල් 640,000 ක් වටිනා පුටු 125 ක් ගෙන්වීම සදහා ටෙන්ඩරයක් කැදවා ඇති බවට චෝදනා කළේ ජනතා විමුක්ති පෙරමුණයි.
විධිමත් පරීක්ෂණයක් පවත්වා අධික මිලකින් යුත් පුටු ගෙන්වීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා ආණ්ඩුකාරවරයාට ද ලිපියක් යොමුකළ බව එහි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගෙන් ඊයේ විමසූ අතර, ඔහු කියා සිටියේ අදාළ තීන්දුව වෙනස් නොකරන බවයි.
කෙසේ වෙතත්, අප පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගෙන් මේ පිළිබදව විමසූ අතර ඔහු කියා සිටියේ ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයාගේ ඉල්ලීම සලකා බලා මෙම තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි.