Politics Sri Lanka

බසයේ ගින්නට හේතුව අත්බෝම්බයක් පිපිරීම

බසයේ ගින්නට හේතුව අත්බෝම්බයක් පිපිරීම

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී 19 දෙනෙකු තුවාල සිදුකරමින් පෞද්ගලික බස් රථයක ඇතිවූ ගින්නට හේතුව අත්බෝම්බයක් පුපුරා යාම බව මේ වනිවිට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.

තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වයට බරපතල බවද දියතලාව මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද අධිකාරී රංජීත් අමරකෝන් මහතා ප්‍රකාශ කරයි.

යාපනය සිට දියතලාව දක්වා ගමන් ආරම්භ කල පෞද්ගලික බස් රථයක් ඊයේ (20) රාත්‍රී බණ්ඩාරවෙල දක්වා පැමිණ එහි සිටි මගීන් 19දෙනා වෙනත් බස් රථයකට මාරු කර තිබුණි.

එලෙස මගීන් රැගත් බස්රථය බණ්ඩාරවෙල සිට හෙබරව දක්වා ධාවනය වන අතරතුර බණ්ඩාරවෙල කහගොල්ල ආරාමය අසලදී අලුයම 5.30 ට පමණ රථය තුළ පිපිරීම සිදුව තිබේ.

පිපිරීමෙන් රථයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් මේවන විට දියතලාව මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තුවාල ලැබූවන් අතර අතර යුද හමුදා සෙබලුන් 07ක් ගුවන් හමුදා සෙබලුන් 05 දෙනෙකු සහ සිවිල් වැසියන් 07 දෙනෙකු සිටිති.

බරපල තත්වයේ පසුවන තුවාල කරුවන් දෙදෙනා හමුදා සෙබලුන් දෙදෙනෙකු බවත් වාර්තා වේ.

යුද හමුදා සෙබලෙකුගේ පාදයක කොටසක් ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර අනෙක් සෙබලාගේ උදරයට ශෛල්‍ය කර්මයක් සිදුකර ඇත.

අනතුරින් බස් රථයේ රියදුරුට කිසිදු හානියක් සිදුව තිබුනේ නැත.

පිපිරීම සිදුව ඇත්තේ බස් රථයේ තුන් වැනි පේළිය ආසන්නයේ යැයිද සැක කෙරේ.

රජයේ රස පරික්ෂක මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.