Gossips

බලය පිහිටුවීම ගැන එකඟතාවක් නෑ

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හෝ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමඟ කිසිදු එකඟතාවයකට එළඹ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා .
ඒ අනුව එවැනි එකඟතාවයකට පැමිණි බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද ආදාළ නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එම තීරණය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඊයේ අරලියගහ මන්දිරයේදී තම පක්ෂයේ මැති ඇමතිවරුන් මුණගැසුණා.
එහිදී 50 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.
එක්සත් ජාතික පෙරමුණ මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 105කට හිමිකම් කියන අතර, පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන්නේ 113ක්.
නව ආණ්ඩුවක් බිහිකිරීම සඳහා දැනට ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂයේ නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් පිරිසකගේ ද සහය ලැබෙනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.
මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී ද මේ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන්.
මේ අතර, ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කළ යුතු බවටයි අමාත්‍යවරුන් එහිදී යෝජනා කර ඇත්තේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද රාත්‍රියේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.