Politics Sri Lanka

බලය තහවුරුකර ගැනීමට සිදුකරණ දේශපාලන කුළල් කා ගැනීම් නවතා දැමිය යුතුයි

බලය තහවුරුකර ගැනීමට සිදුකරණ දේශපාලන කුළල් කා ගැනීම් නවතා දැමිය යුතුයි

රට තුළ සිදුවන දේශපාලන කුළල් කා ගැනීම් හා විවිධ දේශපාලන කණ්ඩායම් පිල්වලට බෙදී බලය තහවුරුකර ගැනීමට අනුගමනය කරන ක්‍රමවේදය දැන් නවතා දැමිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.

උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) පස්වරුවේ බොරැල්ල අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු තුමා – “මේ අවස්ථාවේ සෑම ශ්‍රී ලාංකිකයකුගේ සිත්වල තිබෙන පණිවිඩය මමත් ප්‍රකාශ කරනවා. රට තුළ සිදුවන දේශපාලන කුළල් කා ගැනීම් හා විවිධ දේශපාලන කණ්ඩායම් පිල්වලට බෙදී බලය තහවුරුකර ගැනීමට අනුගමනය කරන ක්‍රමවේදය දැන් නවතා දැමිය යුතුයි.

සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන නායකයන් රට පිළිබඳ, ජනතාව ගැන මේ අවස්ථාවේ සිතා කටයුතු කළ යුතු අතර පවතින දේශපාලන තත්ත්වය දිගටම පැවතියොත් ගැටලු ඇති වෙන බව පෙනෙනවා. මේ පිළිබඳ මල්වත්ත මහ නායක හිමියනුත් අදහස් පළ කළා. මේ අවස්ථාවේදී දේශපාලනඥයන් රටට තිබෙන ආදරය ඉදිරියෙන් තබා ගෙන සහ රට ආරක්ෂා කරගෙන රට දියුණු කරන්න කටයුතු කළ යුතුයි.

ජනාධිපතිතුමාට රට පාලනය කරන්න තව කාලයක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා සමඟ එක්වෙලා පවතින ගැටලු විසඳා ගැනීමට සියලුම පක්ෂ සාධාරණව කටයුතු කළ යුතු බව අප ප්‍රකාශ කරනවා.”