Gossips

බර එසවීමේ ක්‍රීඩකයන්ට, යොවුන් ඔලිම්පික් අහිමි වේ

ශ්‍රී ලංකා බර එසවීමේ කණ්ඩායමට යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලට බර ඉසිලීමේ ඉසව්වෙන් සුදුසුකම් ලැබීමේ ආසියානු තරගාවලිය පසුගිය දා පැවැත්වුණේ උස්බෙකිස්ථානයේදීයි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 5 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙක් සහභාගි වුණා.
කෙසේ වෙතත්, උස්බෙකිස්ථානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී එකඳු තරඟයකට හෝ සහභාගිවීමට අවස්ථාව හිමිවුණේ නැහැ.
ඒ, ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනයේ දත්ත ගබඩාවට මෙරට ක්‍රීඩකයන්ගේ තොරතුරු ඇතුළත් කර නොතිබීම හේතුවෙන්.
ලොව සියළු ක්‍රීඩකයන් මෙම වෙබ් අඩවිය හරහා කලින් කලට තම තොරතුරු යාවත්කාලීන කළ යුතු අතර, ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනය පවසන්නේ තම ආයතනය මේ පිළිබදව සියලූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දැනුම්වත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, බර එසවීමේ සංගමයේ බලධාරීන් තම වගකීම ඉටු කරන්නට අසමත් වීම හේතුවෙන් මෙරටට මුහුණ දීමට සිදුවූ අපකීර්තිය මෙන්ම අපතේ ගිය මුදල ද සුළුපටු නැහැ.
වරද කා අත වුවත්, අවසානයේ සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා බර එසවීමේ කණ්ඩායමට යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වීමයි.
ලෝකය තාක්ෂණයත් සමඟ ඉදිරියට යන විට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඒ සමගින් ඉදිරියට ගෙන යන්නට ක්‍රීඩා බලධාරීන් තවදුරටත් අසමත් වුවහොත් ශ්‍රී ලංකාවට අහිමි වන එකම තරගාවලිය මෙය පමණක් නොවනු ඇති.