Gossips

බරක් වුණේ නැතැයි අලුත් ඇමතිවරු කියයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරු කිසිවෙකු තනතුරු ලබාගැනීමේ අරමුණින් විප්ලව නොකළ බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.
නව ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන් අතර, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන දිවුරුම් දුන්නා.
අජිත් මාන්නප්පෙරුම පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
නැවත පදිංචිකිරීම, පුනරුත්ථාන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්.
ඔහු අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබා ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරයෙකු වීමද විශේෂත්වයක්.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඞ්වඞ් ගුණසේකරට හිමිවූයේ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ නලීන් බණ්ඩාරයි.
දිවුරුම්දීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා.
එහිදී ඔහු කියා සිටියේ නව පත්කිරීම් සිදු කිරීමක් නොව පුරප්පාඩු පිරවීමක් පමණක් අද දිනයේදී සිදුවූ බවයි. එය අමතර බරක් ලෙස නොදැකිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා.
දිවුරුම් දෙනු ලැබූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 26 දක්වා ඉහල යන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 26 දක්වා ඉහල යනවා.
එමෙන්ම පසුගිය මැයි මස 1 වනදා දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගෙන් පසුව දැනට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 42 ක්.