Gossips

බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයට යටවූ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති මියයයි

මීට සති දෙකකට පෙර එනම් පෙබරවාරි 24 වැනිදා අලූයම බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයක, යතුරුපැදිය ගැටීමෙන් බරපතල තුවාල ලබා සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී අද(09) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා.
බම්බලපිටිය – ගාලූ පාරේ – ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ යතුරුපැදියේ ගැටී පළා ගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාඩ්න් හි නිවසක තිබී පසුව සොයා ගැනුණා.
ඒ සම්බන්ධයෙන් එහි ගමන්ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයා ඇතුලූ 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
ඔවුන් සියළු දෙනාම අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බව පොලිසියට අනාවරණ වී තිබුණා.
කෙසේ වෙතත්, ඩිෆෙන්ඩර් රථය පැදවූ නවිඳු ඔමේෂ් රත්නායක නැමති ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.
අනතුරෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 51 හැවිරිදි පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අද (09) රාත්‍රි 8.50 ට පමණ මියගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඔහු බොරලැස්ගමුව – වේරහැර – ගංඟාරාම පාරේ පදිංචිකරුවෙක්.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරත්චන්ද්‍ර ගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද පසුගිය 4 වනදා එම රෝහල වෙත පැමිණියා.