Gossips

බදුල්ලේ වෙළඳසැල් දෙකක ගින්න ගැන හෙළිදරව්වක්

බදුල්ල නගරයේ රථවාහන අමතර කොටස් වෙළඳසැල් දෙකක් ගිනිගෙන විනාශ වී ඇත්තේ ප්‍රබල පිපිරීමකින් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
බදුල්ල – කොකෝවත්ත පාර ප්‍රදේශයේ පිහිටි මෙම අමතර කොටස් වෙළඳසැලක ඊයේ අලූයම ගින්නක් හටගත් අතර ඉන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වූ අතර, අසළ තිබූ වෙළඳසැලකටද ගින්න පැතිර ගොස් තිබුණා.
ගින්නෙන් වෙළඳසැලේ හිමිකරු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු බදුල්ල – හපුවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.
එම පුද්ගලයා අවස්ථා 3 කදී වෙළඳසැලට ගමන් කරන අයුරු අසළ වෙළඳසැල් දෙකක සවි කර තිබූ සී සී ටී වී කැමරාවල සටහන් වී තිබෙනවා.
තුන්වන වර ඔහු වෙළඳසැල ඉදිරියේ මාර්ගයේ තර කර තිබූ යතුරුපැදියට නැගීමට යාමේදී අදාළ පිපිරීම සිදුවන අයුරු සහ ඒ සමඟම ගිනි ජාලාවක් ඇතිවන අයුරු අදාළ සී සී ටී වී කැමරාවල සටහන් වී ඇති බවයි සිද්ධිය පිළිබඳ විමර්ශනය සිදුකරන බදුල්ල පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
මොහු පොලියට මුදල් ලබාදීමද සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අකිල රත්නායක විසින් ඊයේ පස්වරුවේ සිදුකළ අතර, ඔහු විවෘත තීන්දුවක් ලබාදෙමින් තීරණය කළේ මෘත ශරීරයේ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යැවීමටයි.
මේ අතර අද දිනයේ පිපිරීම සහ ගින්න ඇතිවූ ස්ථානය ද රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව ගින්නට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.