Gossips

බද්ද සියයට 12 ක් අඩු කරන්න – විශේෂඥ වෛද්‍යරුන් ඉල්ලයි

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් අය කරනු ලබන සියයට 24 බද්ද සියයට 12 දක්වා යළි පහත හෙලන ලෙස බලකරමින් ලබන 18 වනදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමෙන් වළකින බව ශ්‍රී ලංකා වෛද්‍ය විශේෂඥයන්ගේ සංසදය පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම බදු මුදල් වැඩි කිරීම හරහා විශේෂඥ වෛද්‍යවරුන්ට ගැටළු රැසක් උද්ගත වී ඇති බවයි.
මේ අතර සිය ඉල්ලීම් සඳහා ස්ථීර විසඳුමක් අද දිනයේදී නොලැබුණහොත් යළිත් විදුලි හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතු වලින් පස්වරුවේ සිට ඉවත් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.
ඔවුන් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ ඉදිරි වසර 20 සඳහා විදුලි බලාගාර ඉදිකිරීමේ අඩු වියදම් විදුලිජනන සැලැස්මට මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා නොදීමට හේතුවෙන්.
එමෙන්ම බඳවාගැනීම් පටිපාටිය සහ අත්තනෝමතික ආකාරයට උප තැපැල් ස්ථානාධිපති තනතුරට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම නතර කරන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් අද පස්වරු හතරේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීිතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර මේ වනවිට සාකච්ජාවක් පැවැත්වෙනවා.
තම ඉල්ලීමට මෙම සාකච්ජාවේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවයි සාකච්ජාවට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ.
මේ අතර භූමිතෙල් මිල පහල දැමීමට රජය ගනු ලැබූ තීරණයත් සමඟ හලාවත, කල්පිටිය සහ වෙන්නප්පුව ප්‍රදේශවල ධීවරයින් ආරම්භ කිරීමට සූදානම් කර තිබූ විරෝධතාව අත්හිටුවා තිබෙනවා.
එමෙන්ම සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ භූමිතෙල් මිල පහල දැමීමෙන් පමණක් ධීවරයින්ගේ ගැටළුවලට විසදුම් ලබාගත නොහැකි බවයි.
ලබන මස 05 වනදා වනවිට සහනදායි පිලිතුරක් නෙැලැබුණහොත් රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි එහි සභාපති සුජිත් සමන්ත කියා සිටියේ.
කෙසේ වෙතත් පැවති මිලටම තමන්ට භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමින් කළුතර – මග්ගොන නගර මධ්‍යයේ ධීවරයින් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.