Gossips

බද්දේගම දී පැනගිය රැඳවියන් ගැන පරීක්ෂණ මාතරට

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රැඳවියන් 6 දෙනෙකු පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, මාතර සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි නිලධාරීන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
එමෙන්ම විමර්ශන කණ්ඩායම් කිහිපයක් යොදවා පලාගිය රැඳවියන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා.
බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගවීමට නියමිතව තිබූ නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියන් 29 දෙනෙකු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ රැගෙනවිත් තිබුණේ නිලධාරීන් 6 දෙනෙකුගේ ආරක්ෂාව යටතේයි.
අනතුරුව එක් රැඳවියෙකු තමන්ට අසනීප තත්ත්වයක් ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ආරක්ෂාව භාරව සිට ඇත්තේ නිලධාරින් තුන්දෙනෙකු පමණයි.
තවත් නිලධාරියෙකු රැඳවියෙකුගේ ඇඟිලි සළකුණු ලබාගැනීම සඳහා ගොස් ඇති අතර, ඔහු නැවත පැමිණ අදාළ රැඳවියා අධිකරණ සිර මැදිරියට ඇතුලූ කිරීමට යාමේදී රැඳවියන් හයදෙනෙකු පලාගොස් තිබුණා.
එම අවස්ථාවේ රැඳවියන් සමඟ පොරබැදීමේදී තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පළා ගිය රැදවියන් 6 දෙනාගෙන් එක් අයෙකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බද්දේගම – ඇල්ලකන්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සැඟව සිටියදී අද උදෑසන අත්අඩංගුවට ගත්තා.
21 හැවිරිදි මෙම සැකකරු බන්ධනාගාර ගතව සිට ඇත්තේ ස්ත්‍රී දූෂණ චෝදනාවකටයි.