Politics Sri Lanka

බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න

බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න

බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න යැයි ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය 04වනදා බණ්ඩාරවෙලදි පැවසීය.

ඒ බණ්ඩාරවෙල නගර සභාවට සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවට කරාමය ලකුණෙන් තරඟ වදින උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ස්වාධීන කණ්ඩායමේ ජය තහවුරු කරන බණ්ඩාරවෙල මහජන රැලිය අමතමිණි.

එහිදී රැලිය ඇමතූ සමන්ත විද්‍යාරත්න මහතා…

“කිසිදු පෞද්ගලික ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු නොවෙමින් උමාඔය සටනට වසර ගණනාවක් උරදෙන පූජ්‍ය පක්ෂය, කලාකරුවන්, විද්වතුන්, ආචාර්ය – මහාචාර්යවරුන්, වගේම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කැපවී සිටින අව්‍යාජ මිනිසුන් විශාල ප‍්‍රමාණයක් අදත් මේ ජයග‍්‍රාහී අවස්ථාවට සහභාගී වී සිටිනවා. අකාරුණික පාලකයන් ජනතාවට අත්කර දී තිබෙන මහා ඛේදවාචකයන්ට විරුද්ධව වසර ගණනාවක් කරගෙන ආ සටනේ තීරණාත්මක දිනයක් පෙබරවාරි 10 වෙනිදාට යෙදී තිබෙනවා. මේ වනවිට විවිධ සටන් 33ක් අපි හැමදෙනාම කර තිබෙනවා. රථ පෙළපාලි, පාගමන්, උපවාස, හර්තාල්, ඇතුළු බොහෝ දේ කර තිබෙනවා. 34වෙනි සටන තියෙන්නේ පෙබරවාරි 10දාට. පාලකයෝ අතේ තිබෙන බලය අපේ අතට ගන්න දිනය තියෙන්නේ එදාට බව ආදරයෙන් මතක් කරන්න කැමතියි. මහින්ද මහත්තයාගේ මල මේකෙ පැළකරන්න වතුර නැහැ. ඒක පරවෙලා ඉවරයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ හස්තියාට බොන්න තියා අපේ මිනිස්සුන්ට බොන්නවත් මෙතන වතුර නැහැ. ඒ නිසා 10වෙනිදා ටැප් එක ඇරෙන්නේ මේ අපේ සංවිධානයට බව මතක් කරන්න කැමතියි.

ඒ කට්ටිය නිදහසේ නිදහස සැමරුවා. අද ඔබට වතුර නැතිව නිදහස තිබෙනවාද? වැසිකිළියට ගෙනියන්න වතුර නැති, පොඩි එකාගේ ඉස්කෝල ඇඳුම් ටික සෝදන්න අපේ ප‍්‍රදේශයේ වතුර නැහැ. ඇළ-දොළ, ගංඟා, ළිං 3412ක් මේ වෙනකොට හිඳලා ගිහින්. දැන් මේ ප‍්‍රදේශයේ ඉන්නේ ජල හිඟන්නු. අපි මේ රැස්වීම තියන්නේ බවුසර් එන වෙලාවෙදි. අම්මලා, සහෝදරියො ඇතුළු පිරිස කළ අරගෙන බවුසරය එනකම් පාරේ බලා ඉන්නවා. බවුසර් 76ක් පිස්සු බල්ලෝ වගේ මේ බණ්ඩාරවෙල පුරවරයේ එහෙ-මෙහෙ දුවනවා. දවසකට වතුර ලීටර් 587,000ක් මේ ප‍්‍රදේශයේ බෙදාහරිනවා. ජල හිඟන්නු බලන්න බණ්ඩාරවෙලට එන්න. වසන්තයේ නගරය ජල හිඟන්නුන්ගෙන් පිරිලා. මේ ඛේදවාචකය අපිට උරුම කළ පාලකයෝ දැන් ඇවිල්ලා මල් පුප්පන්න හදනවා. අලි පෙන්නන්න හදනවා. 70වසරක් ගිය මොහොතේ පෙබරවාරි 10දා ඒ සියලු දෙනාටම තමතමන්ගේ තරම දැනගන්න කරගැට මතුවෙච්ච අත්වලින්, දහඩිය කඳුළු හෙළන ශරීරවලින් කරාමෙට ඡන්දෙ දීලා කාටකාටත් පණිවිඩයක් උගන්වනවා. මෙතනදි අපට දේශපාලන පක්ෂ බේදයක් නැහැ. මෙතන තියෙන්නේ අපිට ප‍්‍රශ්නයක් විතරයි. ප‍්‍රශ්නයට උත්තර හොයන්න සියලුම දේශපාලන පක්ෂවල කට්ටිය එකතු වුණා. බුද්ධිමතුන් එකතු වුණා. කලාකරුවන්, පරිසරවේදීන්, ආචාර්ය-මහාචාර්යවරුන් එකතුවෙලා ඉන්නවා. ඔවුන් කියන දේවල් ඉවත දානවාද?

මෙතන බස්දාල ඇදපු සෙනග නැහැ. එහෙම කරන්න අපිට සල්ලි නැහැ. මෙතන ඉන්නේ ස්වේච්ඡාවෙන් පෝස්ටරයක් ගහලා, ඒක දැකලා ආපු ජනතාව. මහින්ද මහත්තයා විනාශ කරවපු පුරවරයට ආවා. මහියංගනයෙන්, නුවරඑළියෙන්, බලංගොඩින් බස්දාලා සෙනඟ ගෙනාවා. හොර ගල් අහුල අහුල ඉඳලා දිස්ත්‍රික් මට්ටමින් එක රැස්වීමක් තියලා සෙනග අදිනවා. පිටින් ගෙනල්ලා සෙනග පෙන්වනකොට දහස් ගණනක ජනතාවක් ‘කරාමය’ දිනවන්න ස්වේච්ඡාවෙන් බණ්ඩාරවෙලට ඇවිල්ලා ඉන්නවා. අරක්කු දීලා, බත් පැකට් දීලා, බස්දාලා ඇද්ද සෙනග නොවෙයි මේ. බොරු පොරොන්දු දීලා ගෙන්වපු ජනතාව නොවෙයි මේ. කප්පම් දීලා අල්ලස් දීල ඡන්දෙ ගන්න ජඩ දේශපාලන සංස්කෘතිය මෙතන නැහැ. ගෙවල් 7550ක් පුපුරලා, ව්‍යාපාරික ස්ථාන ගිලාබැහැලා, නගරයේ පාර පුපුරලා, අපේ මේ ගම්බිම් විනාශ කරලා, කඳු පුපුරලා ගියේ උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය නිසයි. අපිට මරණ වරෙන්තුව අතට දීලයි තියෙන්නේ. 1815 උඩරට ගිවිසුම අත්සන් කරලා සුද්දා මුළු රටම අල්ලා ගත්තා. ඒකට විරුද්ධව මුලින්ම සටනට යොමුවුණේ කන්ද උඩරට ඉහළ ඌව, පහළ වෙල්ලස්ස එකතු වෙලා 1817 – 1818 කාලයේ සුද්දට විරුද්ධව දැවැන්ත සටනක් කළා. කිවුලෙ ගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේ රාල, කොහුකුඹුරේ රටේ රාල, බදුල්ලේ මහා ගමරාල, මූලික වෙලා සටන් දියත් කළා. කැප්පෙටිපොළ එකතු වුණේ පස්සේ. බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා යටතේ මේ සටන සම්පූර්ණයෙන් මර්දනය කරලා වැව් අමුණු, වෙහෙර විනාශ කරලා යුද නීතිය දාලා මේ ප‍්‍රදේශය සුන්නද්දූලි කරලා තිබුණා.

දෙවෙනි නිදහස් අරගලය 1848 ගොංගාලේගොඩ බණ්ඩලා, වීර පුරන්අප්පුලා, එකතු වෙලා මාතලේ සටන ගෙනිච්චා. වර්තමාන පාලකයා නිදහසේ සැමරුම කරන්න කොඩිය ඉස්සුවේ කවුරු ගෙන්වලාද? මේ රටේ නිදහස් අරගලය සමූල ඝාතනය කරපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පරම්පරාවේ නියෝජිතයන් ගෙන්නුවා. දෙවෙනි එලිසබෙත් රැජිනගේ පුතා එඩ්වඩ් කුමාරයා ගෙනත් නිදහස සැමරුවා. කැප්පෙටිපොලගේ මී මුණුපුරෙක්වත් හිටියේ නැද්ද? එදා අරගලය පාවාදීපු ප‍්‍රභූපන්තියේ වර්තමාන පරපුර ටයිකෝට් දාලා කකා – බිබී නිදහස සමරන සැටි අපි දැක්කා. අපි තාමත් නිදහස් නැහැ. සුද්දා 48 දුන්නේ නිදහස නොවෙයි. තව කණ්ඩායමකට ජනතාව යටත්කරගෙන කාලා ඉන්න අවස්ථාව දුන්නා. ලංකාව බාරගත්ත පාලකයෝ 70වසරක් පුරා කරන්නේ ඒක. අපි උන්ගේ යටත් වැසියෝ. අපි උන්ගෙන් නිදහස් වෙන්න ඕනෑ. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැඩ පිළිවෙළේ ලියල තියෙන්නේ “මා මේ රටේ බාරකරුවා මිස අයිතිකරුවා නොවේ” කියලයි. ඔහේ මේකෙ අයිතිකරුවා නොවේ නම්, රටේ නීතිය පැත්තකට දාලා උමාඔයට මුල්ගල තිබ්බේ ඇයි කියලා අහනවා. නිවැරදි සක්‍යතා අධ්‍යයන වාර්තාවක් නැහැ. අපි නඩු දානකොට හදිසියේ හොර රහසේ වාර්තාවක් හදල දුන්නා. අපි තාමත් උන්ට යටත්, කියන්නේ මේ වගේ හේතු නිසයි. උන් රජ කරන්න අපි දුක්විඳින්න ඕනෑ. අවුරුද 70ක් පුරා ලියවිලා තියෙන්නේ මේ ඉතිහාසයයි. මේ පාදඩ දේශපාලන සංස්කෘතිය මේ රටෙන් තුරන්කළා නම්, අපිට මේ හැටි දුක්විඳින්න ඕන නැහැ. අපිට මේ වගේ විපතක් වෙන්නේ නැහැ. මහජනයාට ආදරය කරන දේශපාලනයක් මේ රටේ තිබුණා නම්, මේ කිසිම ප‍්‍රශ්නයක් අපිට එන්නේ නැහැ. උන් හිතුවේ ජනතාව ගැන නොවෙයි, පරිසරය ගැන නොවෙයි. සාක්කුවට වැටෙන කෝටි ප‍්‍රකෝටි ගණනක් ගැන විතරයි. ජනතාව අනාථ වුණා. උන් සනාථ වුණා.

උගතුන්, බුද්ධිමතුන් අතේ තියෙන දේ වියදම් කරගෙන, කාලය ගෙවා දමාගෙන ඔබ හමුවට ඇවිල්ලා, ඔවුන්ගේ බුද්ධිමත් අදහස් බෙදුවා. අනික් පක්ෂවල අය අරක්කු, කසිප්පු බෙදනවා. අපි බුද්ධිය බෙදනවා. ජනතාව බුද්ධිය පාවිච්චි කළොත්, සොඳුරු ගමක්, සොඳුරු නගරයක් බිහිකර ගන්න පුළුවනි. විපත සැපත බවට පත්කර ගන්න මහා බලවේගයක් ගොඩනඟන්න පුළුවන්, පෙබරවාරි 10න් පස්සේ. බුද්ධිය අනික්පැත්ත ගහලා පාවිච්චි කළොත් විපත මහා ඛේදවාචකයක් බවට පත්වේවි. අපිට මරණය හෝ අනාථභාවය උරුම වේවි. අපේ රටේ ලියන්න, කියවන්න පුළුවන් පිරිස 99%යි. ඒත් බුද්ධිය මෙහෙයවලා තීරණ ගත යුතුයි. ජනතාවගේ ජීවිත මතු රැකගන්න මගේ හැකියාවත් මෙහෙයවලා, මේ බුද්ධිමතුන්ගේ හැකියාවත් මෙහෙයවලා බුද්ධිය බෙදා දුන්නා. රටේ අනික් කට්ටියට උමාඔය බලපාන්නේ නැහැ. දූෂණය, වංචාව, රැකියා නොමැතිකම, බඩුමිල වැඩිවීම වගේ ජනතාවට සතුරු දේශපාලනය වෙනස් කරන්න කඳවුරු බඳමින් ඉන්නේ. මේ ප‍්‍රදේශයේ ඒ මතයට අමතරව උමාඔය විනාශය ගැනත් කතා කරන්න ඕනෑ.

මෛත්‍රී මහත්තයා වටේ හොරු ඉන්නවා. නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා, රාජිත, ෆවුසි, වගේ ගොඩක් දෙනෙක්. ෆවුසිට නඩු දැම්මා. රාජිතට නඩුව දාන්න හදනකොට අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට විරුද්ධව මෛත්‍රී කඩුව ඇදල ගත්තා. හොරු ඇල්ලුවාද? මෛත්‍රී කෙටුවේ හොරු අල්ලන අයටයි. රනිල්ල, රවීලා, මහ බැංකුව හොරකම් කළා. ආවෙ හොරු අල්ලන්න. හැබැයි හොරු කණ්ඩායමක් ආණ්ඩුව අල්ලලා. උන් හොරකම් කළේ, ග‍්‍රාමීය බැංකුව, සණස බැංකුව, ලංකා බැංකුව නොවෙයි. අධි ආරක්ෂක කලාපයේ තියෙන ලංකාවේ මහ බැංකුව හොරකම් කළා. විගණකාධිපති කියන විදිහට කෝටි දහදාහක් හොරකම් කරලා. ඔබේ, අපේ බදු මුදල්, දඩ මුදල්, වගේම ලෝකෙන් ගත්ත ණය මුදල් කෝටි දහදාහක් හොරකම් කරලා. බණ්ඩාරවෙල නගර සභාවේ වාර්ෂික ආදායම කෝටි 37යි. මේ නගර සභාවේ අවුරුදු 270කට ගන්නා ආදායම මහ බැංකුවෙන් මාස 5කදී හොරකම් කරලා. බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ වාර්ෂික ආදායම කෝටි එකහමාරයි. එතකොට අවුරුදු 6666ක ආදායමට සමාන මුදලක් මහ බැංකුවෙන් හොරකම් කරලා. ඔබේ මාලෙ කැඩුවොත් ඔබට හිතට අමාරුයි. ඔබේ ගේ කැඩුවොත් ඔබේ හිතට අමාරුයි. මහ බැංකුව කඩපු එකට ඔබට හිතට අමාරු නැද්ද? ඔය දෙගොල්ලම රටේ මුදල් හොරකම් කළා. ඒ වගේම ඒ දෙගොල්ලොම එකට එකතු වෙලා අපේ වතුර ටික පැහැර ගත්තා. අපේ ගෙදර දෙපලු කළා. දරුවන්ගේ පාසල විනාශ කර දැම්මා. පන්සල, පල්ලිය, විනාශ කළා. අපේ වගා බිම්, ව්‍යාපාරික ස්ථාන ඔක්කොම විනාහ කර දැම්මා. රටේ හොරකමට අමතරව බණ්ඩාරවෙල ජනතාවට කර තිබෙන විනාශය ඉතාම බරපතළයි. මේවා සුළුපටු නැහැ. මේවාට දඬුවම් දෙන්න ඕනෑ.

මෛත්‍රී මහත්තයා, රනිල් මහත්තයා ආවේ යහපාලන බෝඩ් එක දාගෙන. අපිට බොන්න වතුරත් නැහැ. යහපාලනය මේකද? අපිට වන්දිත් නැහැ. අපි වන්දි ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා. පළාත්බද මහාධිකරණයට ගිහිල්ලා. ඒවගේම ඔබ හැමකෙනාම එකතුවෙලා උද්ඝෝෂණය කරලා. චමින්දලා, නලින්ලා, ඩිලාන්ලා, නිමල්ලා මෛත්‍රීලා, රනිල්ලා, මහින්දලා දුන්නේ විනාශය විතරයි. ඌවේ මහ ඇමතිවරයා තමන්ටත් වැඩිය වැඩිමහල් විදුහල්පතිතුමිය දණ ගැස්සුවා. මහඇමති පදයට නැටුවේ නැහැ කියලා නිල නිවාසයට ගෙනල්ලා තිත්ත කුණුහරුපයෙන් ආමන්ත‍්‍රණය කරලා දෙපා වැඳලා සමාව අරගන්න කියල තිබුණා. බදුල්ල නියෝජනය කරන පාර්ලිමේන්තුවරු 6ක් ඉන්නවා. පළාත් සභාවේ 34ක් ඉන්නවා. කවුද විදුහල්පතිතුමිය වෙනුවෙන් කතා කළේ? කවුද උමාඔය වෙනුවෙන් කතා කළේ? කවුද වෙල්ලස්ස වෙනුවෙන් කතා කළේ? අඹේවෙල ගොවියෝ අනාථ වෙන එක වෙනුවෙන් කතා කළේ කවුද? විදුහල්පතිනිය වෙනුවෙන් කතා කළා කියලා සුජීව ජයසිංහ ලෝයර් හරහා මිලියන 500ක් ගෙවපන් කියලා මට එන්තර වාසියක් එව්වා. හැබැයි පළාත් සභාවේදී මාධ්‍යය ඉදිරියේ රටට පේන්න මට කතා කළේ “යකෝ වරෙන් එළියට. හිඟන්නා. අම්මයි අක්කයි හිඟාකනවා. මැෂිමක් අරන් දීපන්.” කියලයි. ඒ කියපු හිඟන්නගෙන් මිලියන 500ක් ඉල්ලනවා. මරු කේස් එකක්නෙ ඒක.

මේ හොරකම, වංචාව පළවා හරින්න ඕනෑ. බණ්ඩාරවෙල ජනතාව කාටවත් අතපාලා ජීවත්වුණු අය නොවෙයි. තමන්ගේ දෑතේ මහන්සියෙන් ජීවත්වුණු අය. බහුතරයක් ඉන්නේ ගොවියෝ. ඔවුන් ආදායමක් ලැබුවාම තමයි ව්‍යාපාර ගොඩ එන්නේ. මේ ජනතාව යූඑන්පී, ශ්‍රීලංකා ආණ්ඩුවලට අත පෑව අය නොවෙයි. ස්වභාව ධර්ම ආණ්ඩුව වැසි ඵල, ඇළ-දොළ, ගංඟා, සාරවත් පස, හොඳ දේශගුණයක්, කාල ගුණයක් හදාදී තිබෙනවා. ඒවා පාවිච්චි කරලා ජනතාවගේ ජීවිත ගොඩනඟා ගත්තා. මහින්ද රාජපක්ෂගේ රාජ්‍යයේ සිහිනය සැබෑ කර ගන්න යොදපු සැලසුම්වලින් උමාඔය නදිය ස්වභාව ධර්මයෙන් ගලාගිය පාර වෙනස් කරලා දකුණට හැරවීම පටන් ගත්තා. මේ රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය විනාශ කරමින් ව්‍යාපෘතියක් පටන් ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මම එදා කෑගහලා මේ වැඩේ එපා කියල කිව්වා. ඇහුවේ නැහැ. දැන් යූඑන්පී, ශ්‍රීලංකා, පොහොට්ටු, හැමකෙනාම කියන්නේ පළවෙනි කැබිනට් පත්‍රිකාව ගෙනාවේ අනුර දිසානායක කියලයි. ඒකටත් උත්තරයක් දෙන්න ඕනෑ. සියලුම සාක්ෂි සහිත ෆයිල් එක මගේ ළඟ තියෙනවා. 1991.04.05 උමාඔය ව්‍යාපෘතිය කළොත් ප‍්‍රශ්නයක් ඇති වෙන බව සඳහන් කරමින් ඌව පරණගම, ලූණුවත්තේ ඩී.ආර්. රත්නායක මහතා, සමස්ත ලංකා ගොවිජන මහ සභාව වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ලියුමක් යවමින් සඳහන් කර තිබෙන්නේ මේ ව්‍යාපෘතියෙන් ප‍්‍රශ්න ඇතිවෙන බවයි.

උමාඔය කතාවට සෑහෙන ඈතක් තියෙන බව මෙයින් පැහැදිළියි. කෘෂිකර්ම ඇමතිවරයා හැටියට අනුර සහෝදරයාත්, මාස 14ක් හිටියා. අර එකතුවෙලා තිබුණු උමාඔය ෆයිල් එකට ලියුමක් ගහලා සක්‍යතා අධ්‍යයනය කරන්න කියලයි කීවේ. මහින්ද ඒක කළාද? රනිල් ඒක කළාද? මෛත්‍රී ඒක කළාද? ඒක කළේ නැහැ. කරන්නැතිවයි මුල්ගල තිබ්බේ. අවුරුදු 3කට පස්සේ නඩු යනකොට සක්‍යතා වාර්තාව හොර රහසේ හැදුවා. ඒ වාර්තාව කරගෙන යන වැඩේට රුකුල් දෙන්න හදපු එකක්. අනුර සහෝදරයා ඉන්නකොට සක්‍යතා අධ්‍යයන වාර්තාව හැදුවා නම්, නිර්දේශ කරන්නේ මේ ව්‍යාපෘතිය “නුසුදුසුයි” කියලයි. රටේ ලොක්කන්ගෙන් මම අහන්නේ මහින්ද කරපු මොන ව්‍යාපෘතියද, හරියට කළේ කියලා. මත්තලින් හැදුනාද? කෝටි ගණනක් වියදම් කර, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආදායම් එනවාද? හම්බන්තොට වරාය ගොඩ ගියාද? කොළඹ වරාය නගරය අනාගතයේ මහා හෙනයක් බවට පත්වෙන ව්‍යාපෘතියක්. ඔලුවිල් වරාය අන්තිම විනාශකාරී ව්‍යාපෘතියක්. බෝඩ්ලන්ඩ් බලාගාරයෙන් මස්කෙලිය පැත්ත ඉවරයි. වෙල්ලස්සේ ඉඩම් ටික සුද්දට දෙන්න පාර කැපුවා. ඔය වගේ මහින්ද රාජපක්ෂගේ ව්‍යාපෘති ගොඩක් විනාශයි. හොරකම්, වංචා ඉහවහ ගියා.

නලින් සූරියගේ මොන ස්වාධීන සළු දාගෙන ආවත් ඕක මහින්දගෙයි, මෛත්‍රීගෙයි පූට්ටුවක්. 2008 අප්‍රේරල් 29 වෙනිදා උමාඔය ව්‍යාපෘතියට මහින්ද මුල්ගල තිබ්බා. ඒ කාලේ අපේ 36 දෙනෙක් එකතු වෙලා උමාඔය සුරැකීමේ සංවිධානය හැදුවා. දැන් ඒ සංවිධානය පුළුල් වෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රී පුෂ්ප කුමාර මහත්තයාගේ අයියත් අද, ටැප් එක ලකුණින් මේ සංවිධානයෙන් ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි පක්ෂ පැත්තක දාලා, පොදු බලයක් හැදුවා. මේ මාතෘ භූමිය රැකගැනීමේ පරිසර සටනකට අපි පූර්වාදර්ශයක් දුන්නා. පටු දේශපාලන වුවමනාවන් අපට නැහැ. ජනතා විමුක්ති පෙරමුණින් මේ ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් වුණා නම්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ලබාදෙන්නේ මේ පළාත් පාලන ආයතන දෙකෙන් බව ඉතාම පැහැදිළියි. අපට පටු දේශපාලනයක් තිබුණෙ නැහැ. විපත හමුවේ සමගි වී, එකතු වී, ජයග‍්‍රහණයක් කරන් ඕනෑ කියලා පක්ෂ අතහැරියා. පටු දේශපාලනයක් නොතිබුණු පොදු සටනට වතුර ඉල්ලන කරාමෙන් හැමෝම එක අරමුණකින් ඉදිරිපත් වුණා. ජනතාවටත් ගෞරවයෙන් ආරාධනා කරන්නේ පටු දේශපාලන බෙදීම් පැත්තක තියලා එන්න කියලයි. මේ විනාශය තාම ඉවර නැහැ. එය නතරකර ගැනීමේ ලොකු අරගලයක් තියෙන්නේ ඉදිරියේදී. බණ්ඩාරවෙල මිනිසුන් සහ නොමිනිසුන් කවුද කියල බෙදෙන්නේ පෙබරවාරි 10දා බව මතක් කරන්න කැමතියි. මේ සටන දිහා රටම බලාගෙන ඉන්නවා.

මේ වෙනකොට පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා තිබෙනවා. 41 වතාවක් ඊට පෙනී හිටින්න ගිහින් තිබෙනවා. පළාත්බද මහාධිකරණයේ නඩුවට තුන්වතාවක් ගියා. ජීවිතය අරන් දෙන්න, වතුර ටිකක් ගෙනත් දෙන්න, වන්දියක් අරන් දෙන්න, ඔබ වෙනුවෙන් අතේ තියෙන ගාණ වියදම් කරපු අයට ඡුන්දය දෙනවාද? ජීවිතය උදුරාගත්ත අයට දෙනවාද කියල ඔබ තීරණය කරන්න. සමන්ත විද්‍යාරත්නට පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිවුණේ ඡුන්ද 37යි. උමාඔය සටනට සෑහෙන වැඩකොටසක් කළ, මම පරාදයි. බිඳ වැටුණේ නැහැ. කළකිරුනේ නැහැ. ඡන්දෙ පැරදිලා තුන්වෙනි දවසේ හීල්ඔයට ආවා. සමහර අම්මලා මඟ ඇරලා ගියා. ඒ පැරදීම මට දරාගන්න පුළුවන්. ඒ පැරදුනේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලුව සමන්ත විද්‍යාරත්න. හැබැයි එක මිටකට මොළවලා සටනට ආයෙත් පණ පෙව්වා. මේක පැරදුණොත් නම්, දරාගන්න බැහැ. මම මේ කියන්නේ තේරුම් ගන්නයි. උමාඔය සටන් පෙරමුණේ නායකයෝ ඔක්කොම සටනට දාලා, මන්ත්‍රීල කරන්න නොවෙයි මේ උත්සාහ කරන්නේ. ඉදිරියේදී එන විපත වළක්වාගෙන විපතට මුහුණ දී ඉන්න ජනතාවට සාධාරණය ඉෂ්ට කර දෙන්නයි. ජනතාව කියනවා නම්, “විපතක් නැත. සහනයක් අවශ්‍ය නැත. නුඹලා පැරදී ගෙදර පලයල්ලා.” කියලා, එදයින් පස්සේ ආපහු සටනක් නැත. නඩු අයින්කර ගන්න වෙයි. මේ සටන් පෙරමුණේ ඔක්කොම ගෙදර ගියොත් චමින්ද සටනට එයිද? නලින් සටනට එයිද? වතුර ගෙනත් දෙයිද?

මහින්ද මේ විනාශයට මුල පිරුවා. නමුත් රැස්වීම් තියන්න බණ්ඩාරවෙලට ආවා. පුපුරපු එක ගෙයක්වත් බලන්න ගියාද? වතුර පොදක්වත් ගෙනාවද? හිඳිච්ච ළිඳක් බලන්න ගියාද? මෛත්‍රී ආවාද? රනිල් ආවාද? රනිල් වික‍්‍රමසිංහ ආවද? ඡන්දෙ ගන්න මහින්ද බණ්ඩාරවෙලට ආවා. අපි මෙතන හර්තාලෙ කරපු දවසේ ? මෛත්‍රී මහත්තය කිව්වා, “මමත් ඉන්නේ සටන්කරුවන්ගේ පැත්තේ.” කියලා. ඒ බව මේ දක්වා ඔප්පු කරලා නැහැ. රටේ ජනතාවටයි බණ්ඩාරවෙල ජනතාවටයි අලුතින් තේරුම් ගන්න පාඩමක් උමාඔය විපතින් තියෙනවා. ජනතාව වෙනුවෙන් වැඩකරන සැබෑ මිනිසුන් අවංක නායකයන් කවුද කියල තේරුම් ගන්න ලැබුණු සටනක්. අපි ලෝක ඉතිහාසය පරීක්ෂා කරල බැලුවා. පාරිසරික සටනක් තුළින් දේශපාලන බලය අත්පත් කර ගත්ත, සටනක් තියෙනවාද කියලා. එහෙම එකක් නැහැ. ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ජයග‍්‍රහණය පෙබරවාරි 10වෙනිදා වාර්තා වෙනවා. පරිසර කණ්ඩායමක් දේශපාලන බලය ලබාගැනීම ගැන. ඒ ජයග‍්‍රහණය ඔබට හොඳයි. අද රට පුරාම පරිසර ප‍්‍රශ්න උග‍්‍රවෙලා. පාලකයන්ට උත්තර නැහැ. ජනතාව රවටමින් විවිධ පොරොන්දු දෙනවා. මේ ප්‍රෝඩාකාරී දේශපාලනය නවත්වන්න ඕනෑ. මෛත්‍රී රනිල් රකිනවා, රනිල් මහින්දව රකිනවා. මේ තුන්ගොල්ල තුන්ගොල්ලන්ව රැක ගන්නවා. අපිට ඉන්නේ අපි පමණයි. ඒ හින්දා සටන කරපු අපේ කණ්ඩායම පක්ෂ පාට නැතිව ඔක්කොම එකතුවෙලා පෙබරවාරි 10 වෙනිදා කරාමය දිනවලා අරගලය ජයග‍්‍රහණය කරන්න එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

ඒ ජයග‍්‍රහණයෙන් පමණයි ඔබේ ජීවිතය සුරක්ෂිත බව තහවුරු වෙන්නේ. දැන් මේ වෙනකොට ආණ්ඩුවෙන් නිකුත්කර තිබෙන වාර්තා “උමාඔය සහන කමිටු ලේකම්” කාර්යාලයෙන් නිකුත් කර තිබෙනවා. ගෙවල් 7,555ක් පුපුරලා. ගොවි බිම් අක්කර 10,302ක් පාළු වුණා. මේක ඓතිහාසික ලියවිල්ලක් කියලයි මම හිතන්නේ. සංවර්ධන ව්‍යාපාතිවල ප‍්‍රගති වාර්තාවක්! පවුල් 7,633කට වතුර නැහැ. පවුල් ඉවත් කළ, නිවාස ගණන 526යි. අපි කරපු සටන්වල ප‍්‍රතිඵලයක් හැටියට ගොවියන්ට වගාවන්ට රුපියල් කෝටි 37කට වැඩිය අරන් දී තිබෙනවා. ගෙවල්වලට සාධාරණ වන්දියක් ගන්න බැරිවුණා. ඒත් අලුත් වාර්තාවලට අනුව රුපියල් කෝටි 60කට වැඩිය වන්දි අරන් දී තිබෙනවා. මේ දේවල් අරන්දීල තියෙන්නේ චමින්ද හරි නලින් හරි නොවෙයි. කරාමයෙන් ඉදිරිපත් වී සිටින මෙන්න මේ මන්ත්‍රීවරු නොවන කණ්ඩායමයි. නිල නොලත් මේ මන්ත්‍රීවරු පෙබරවාරි 10දා කරාමය ලකුණින් නිල මන්ත්‍රීවරු බවට පත්කරන්න කියල ඉල්ලීමක් කරනවා. චමින්දගෙ හෝටලයටත් බවුසර්වලින් වතුර දුන්නේ අපි කෑගහලයි. මේ කණ්ඩායම ඔබ වෙනුවෙන් වැඩකර තියෙන්නේ එහෙමයි.

කැපුවත් නිල්, කොළ, රතු කියන පටු දේශපාලනය පැත්තක තියල හිතන්න ඕනෑ. ජනතාව බෙදිල හිටියට ඒ අයගේ ලොක්කෝ, එහෙට මෙහෙට පනිනවා. වි.ජ.මු. ලොකු බණ්ඩාර පැන්නා. වර්තමාන කථානායකවරයා දාහතක් එක්ක පැන්නා. ජී.ඇල්. පීරිස් පැනලා ආපස්සට ආවා. පැනපු වාර ගණන එයාටවත් මතක නැහැ. තාත්තාගේ අම්මගේ පක්ෂය පැත්තකට දාලා චන්ද්‍රිකා නෝනා විජය කුමාරතුංගත් එක්ක දම්පාටින් පක්ෂයක් හැදුවා. මහියංගනයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න තුන් පිම්ම පැන්නා. යූ.එන්.පී., මහින්ද, මෛත්‍රී. පනින අය ලස්සන කතා කියනවා. දෑත් ශක්තිමත් කරන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න, ආර්ථිකය හදන්න, ඔය වගේ කතා කියනවා. තවත් අය අප්පච්චි මළා කියල පනිනවා. පාර්ලිමේන්තුවේ අවුරුදු හතළිස් ගණනක් ඉන්න මහින්ද මහත්තයාගේ ධන ලෝභයේ, බල ලෝභයේ සීමාවක් නැහැ. නියෝජ්‍ය ඇමති, ඇමති, විපක්ෂ නායක, අගමැති, ජනාධිපති වුණා. තවත් පෙරේතකම නිසා, කුරුණෑගලින් පාර්ලිමේන්තු මන්ත්‍රී වුණා. දිව හැරෙන හැරෙන පැත්තට කතා කිය කියා පනිනවා. මම ඔබට කියන්නේ මෙච්චරයි. වැරදි තැන් අතහරින්න. නිවැරදි තැනට එන්න. විනාශය ගෙන ආ අය, අතාරින්න. විනාශයට එරෙහිව අරගල කළ, උන් ළඟට එන්න. සැබෑ නායකයෝ ළඟට එන්න. අයුක්තිය, අසාධාරණය තියෙන තැන අතහරින්න. යුක්තිය, සාධාරණය, මනුෂ්‍යත්වය වෙනුවෙන් එන්න. ඔබ මේ රට හදන්න, ඡන්දය දෙන්න. මේ කණ්ඩායමට බණ්ඩාරවෙල බලය දෙන්න. මේ වැඩේ ටැප් එකෙන් පටන් ගන්න.

අපි කරපු අරගල නිසා, ජනාධිපති මෛත්‍රී සාකච්ඡාවක් ලබාදුන්නා. පරිසර අමාත්‍යාංශයේදී මේ ප‍්‍රශ්නය විනාඩි 5න් කියන්න කියල අපිට කිව්වා. අපි කෑගහලා කාලය වැඩිකරගෙන යන්තම් විනාඩි 15ක් කතා කළා. ආචාර්ය – මහාචාර්යවරුන්ට කතා කරන්න දුන්නේ නැහැ. දෙදෙනෙකුට විතරයි කතා කරන්න දුන්නේ. අන්තිමට මෛත්‍රී කිව්වේ, මේක හිතුවක්කාර ව්‍යාපෘතියක්, මේකෙන් කෝටි ගණන් සාක්කුවට ගිය බවත් මම දන්නවා, කාන්තාරවල උමං හාරපු කොම්පැණියක් කියලා මම දන්නවා කියලා, කිව්වා, කැබිනට් අනුකමිටුවක් හදලා මේ ව්‍යාපෘතිය නතර කරන බව කිව්වා. ඔය මෛත්‍රී පත්කළ අනුකමිටුවේ සභාපති රවි කරුණානායක. පාඨලී, ඩිලාන්, නිමල් සිරිපාල, හරීන්, සොයිසා, මද්දුම බණ්ඩාර, වගේ අය පත් කළා. ඒ කමිටුවේ ඔක්කොමලා අත්සන් කරලා, උමගේ ඉතිරි ටිකත් කණින්න කිව්වා. නගරය ගිලා බහින්න පටන් ගත්තා. කඳුකරය පිපිරුවා. මේ සංවිධානයේ අරගල නොතිබුණා නම් මේ වෙන කොට බණ්ඩාරවෙල කනත්තක් වෙලා ඉවරයි. මේව නොඇසූ කන්ව ඉන්න එක සාධාරණ නැහැ කියලා මම කියනවා. මේ ඉදිරිපත් වෙලා ඉන්න අය, හදවත උගුල්ලලා දුන්න වගේ පරිත්‍යාගයන් කළා. උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, ආචාර්ය-මහාචාර්යවරුන් ඇවිල්ලා මේ විපත ගැන මහජනයාට කිව්වා. තවමත් දැනෙන්නෙම නැද්ද? මේ සංවිධානය නිසා එක පුද්ගලයෙක්වත් ජීවිත හානියක් නොවී බේරගන්න පුළුවන් වුණා. මේ විපතින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ඕනෑ. වංචාව, හොරකම, නවත්වන්න ඕනැ. ගම්වල පාරවල් අලුතින් හැදෙන්න ඕනැ. මල් සුවඳ හමන බණ්ඩාරවෙල, සොබා සොඳරු නගරය, ආයෙත් වසන්තයේ නගරය බවට පත්කරන්න ඕනෑ.

ඒ වෙනුවෙන් සැබෑ මහජන නියෝජිතයෝ පත්කර ගන්න. පෙබරවාරි 10දා ඡන්ද පත්‍රිකාවේ කරාමය තියෙන තැන බලලා, ඔබේ කතිරය ලබාදී මේ සටනට ශක්තිය, ජවය ලබාදී ලෝකයේ පළමුවරට පාරිසරික සටනක් බලගන්වලා දේශපාලන බලයක් ගොඩනඟා ඔබේ ප‍්‍රශ්න විසඳන, ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ජයග‍්‍රහණයක් ලබාදෙන්න රටේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ජනතාව ඒකරාශී වෙන්න. සාධාරණයේ, යුක්තියේ, යුතුකමේ කතිරය කරාමයට ලබාදී උමාඔය විපතින් ගැලවීමේ සටන ජයග‍්‍රහණය කරවමු. අනාගත අධිෂ්ඨානයේ පුරවරය බණ්ඩාරවෙලදී ගොඩනඟන වැඩපිළිවෙළ එක්ක ඔබ කවුරුත් එකතු වී ජයග‍්‍රහණය කරවන්න.”