Gossips

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
එහි නායකත්වයට දිනේශ් චන්දිමාල් පත්කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය මෙම සංචිතයට හිමිව ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පත්වීමෙන් පසු නම් කළ පළමු 20 යි 20 සංචිතය මෙයයි.
නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන අසිත ප්‍රනාන්දු සහ ශෙහාන් මධුෂංක සංචිතයට කැඳවා තිබෙනවා.
එමෙන්ම ජාත්‍යන්තර 20 යි 20 තරග බිමට නවකයෙකු වන අමිල අපොන්සෝ මෙන්ම තරග 7 කට ක්‍රීඩා කර ඇති ජෙෆ්රි වැන්ඩර්සේ ද සංචිතයට ඇතුලත්.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන දසුන් ශානකට ද මෙවර සංචිතයේ අවස්ථාවක් ලැබී තිබෙනවා.
ජීවන් මෙන්ඩිස් ද මෙවර බංග්ලාදේශයට එරෙහි 20 යි 20 සංචියට කැඳවා තිබීම විශේෂත්වයක්.
35 හැවිරිදි ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කලේ මීට වසර 3 කට පමණ පෙරයි.
උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක සංචිතයට කැඳවා තිබෙනවා.
ඉසුරු උදාන, ශෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපොන්සෝ, ජීවන් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.
දෙරට අතර 20 යි 20 තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ලබන 15 වනදා ආරම්භ වන අතර දෙවැන්න පැවැත්වෙන්නේ ලබන 18 වනදායි.
පසුගියදා පැවති තුන්කොන් තරගාවලියේදී නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.
මේ හේතුවෙනුයි දිනේශ් චන්දිමාල්ට නායකත්වය පැවරී ඇත්තේ.