Gossips

පෞද්ගලික බස් සේවක වර්ජනය ඇරඹේ – සාර්ථක නැතැයි ගැමුණු කියයි

නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
එහි සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක කියා සිටියේ රජයේ ප්‍රගතිශීලි රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රිරෝද රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සහ වරාය පෞද්ගලික බහාලූම් රථ සංගමය මෙම වර්ජනයට සහය පළ කර ඇති බවයි.
කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති පෞද්ගලික බස් රථ වර්ජනය සම්බන්ධයෙන් බස් සංගම් අතරද පවතින්නේ පරස්පර අදහස්.
මෙම වර්ජනයට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුලූ ප්‍රධාන පෙලේ බස් සංගම්වල සහාය හිමිවී නැහැ.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් රථ සේවකයින් වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබුණද බස් රථ ධාවනය නියමිත පරිදි සිදුවන බවයි.
මෙම වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ වර්ජනයේ බලපෑමට ලක්වන ප්‍රදේශවලට ලංගම බස් රථ යෙදවීමට පියවර ගන්නා බවයි.