Gossips

පොහොට්ටුවේ සභාපතිත්වය හිටපු ජනපති භාර නොගනු ඇති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිත්වය භාර නොගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් එම පෙරමුණේ සභාපතිත්වය භාර ගන්නැයි හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.
පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල්.පීරිස් කියා සිටියේ එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සම්මේලනයේදී එහි සභාපතීත්වය භාර ගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
ඊයේ (02) පැවති ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ හමුවෙන් පසු මාධ්‍යවේදීන් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටියා.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනිමේ සූදානමක් පවතින බවයි.
කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ පක්ෂයට ආදරය කරන පුද්ගලයෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා වෙනත් පක්ෂයක සභාපති ධුරයක් භාර ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.