වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරින් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති මෙම ස්ථාන මාරුවීම්වලට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙක්, පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 9 දෙනෙක් ඇතුළත්.
පොලිස් අපරාධ දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එල්.ඩබ්ලිව්.කේ. සිල්වා පොලිස් විනය සහ නීති දිසාව භාරවත්, පුහුණු බඳවාගැනීම් සහ ජාත්‍යන්තර සබඳතා භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. ධර්මරත්න මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා භාරවත් ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මීට අමතරව බස්නාහිර – උතුර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාරව පත්කර තිබෙනවා.
වවුනියාව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පත් ඩබ්ලිව්.ඞී. තෙන්නකෝන් ස්ථාන මාරුකර ඇත්තේ බස්නාහිර – උතුර දිසාව භාරවයි. මීට අමතරව ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම සහ දුක්ගැනවිලි කොට්ඨාශයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති පී.ජී. පෙරේරාටද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මේ අතර ප්‍රවාහන කොට්ඨාශය, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය, ඇමති ආරක්ෂක කොට්ඨාශ්‍ය ඇතුල තවත් අංශ කිහිපයක කටයුතු කළ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම හිඟුරක්ගොඩ, පොළොන්නරුව, හික්කඩුව, නෙල්ලිඅඩි, මැදිරිගිරිය, හබරණ, අරලගංවිල යන පොලිස් ස්ථානාධිපතිවරුන්ටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
