Gossips

පොලීසියෙන් භික්ෂූන් වහන්සේලාට කඳුළු ගෑස් – ජනපති අණින් පරීක්ෂණ

සිංහලේ අපි ජාතික සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
එමෙන්ම එලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් සිදුකරන බවද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් හිමිවරුන් ඇතුළු පිරිසක් පනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන ලෙස බිම වාඩි වී අද උදෑසන විරෝධතාවක නිරත වුණා.
එහිදී එය විසුරුවා හැරීම සඳහායි පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ.
කෙසේ වෙතත්, පසුව උන්වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා සිය ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.
එහිදී ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපියක් ද ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, සිද්ධිය අතරතුර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.