Gossips

පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ, මාතර කොල්ලයේ වේයන්ගොඩ චාමර ප්‍රති ප්‍රහාරයකින් මරුට

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් මිනිමැරුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද (23) උදෑසන මොහු මාතර – කිරලකැළේ ප්‍රදේශයේ සඟවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන පොලීසියට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
එහිදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කොල්ලකෑම මෙහෙය වූ ප්‍රධාන සැකකරු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ සොහොයුරා සහ තවත් පුද්ගලයෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද එහි යොදවා තිබෙනවා.
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට මෙම කොල්ලකරුවන් පැමිණ තිබුණේ යතුරුපැදි දෙකකින්.
ඔවුන් කොල්ලය සිදුකර පළා යද්දී, එම ස්ථානයට පැමිණි පොලීසිය සමඟ වෙඩි හුවමාරුවක් සිදුවූ අතර, එහිදී පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කළා.
කෙසේ වෙතත්, බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු එහිදී ජීවිතක්ෂයට පත්වුණා.
තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු මේ වන විට මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මිය ගිය පොලිස් නිලධාරියාගේ දේහය ඊයේ (22) රාත්‍රියේ මාතර – ගොඩගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.
මිය ගිය මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කර තිබෙනවා.
කොල්ලකරුවන් පැමිණි එක් යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය වූ කොස්ගොඩ තාරකගේ මව ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇගේ නිවසේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද සොයා ගත්තා.


(ඡායාරූප – අදීශ ආරියතිලක)