Gossips

පොලිසියෙන් පහර කෑ එප්පාවල කාන්තාවන්ගෙන් ඉල්ලීමක්

එප්පාවල ප්‍රදේශයේදී විරෝධතාවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට පහරදුන් සියලූම පොලිස් නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට එම ප්‍රදේශවාසීන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
එප්පාවල – නල්ලමුදාව ශ්‍රී ශෛලබිම්බාරාම රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරයේ මීට පෙර කටයුතු කරන භික්ෂුන් වහන්සේ නමක් යළිත් එම විහාරස්ථානයට පැමිණීමට එරෙහිව ප්‍රදේශවාසීන් පසුගියදා විරෝධතාවයේ නිරත වුණා.
එහිදී පොලිසිය පහරදුන් බව පවසමින් කාන්තාවන් තුන්දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වුණා.
මේ අතර, කාන්තාවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට ඊයේ කටයුතු කළා.
එමෙන්ම, සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා.