Gossips

පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තාව එළියට

2016 වසරේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා එම අවස්ථාවේ මත්පැන් පානය කර සිට නොමැති බව ඔවුන්ගේ මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණ වනවා.
එහි දැක්වෙන්නේ එක් සිසුවෙකුගේ පපු ප්‍රදේශයට එල්ලවූ රයිෆල් උණ්ඩයක් හේතුවෙන් සහ අනෙක් සිසුවාගේ පපුව අභ්‍යන්තරයේ සිදුවූ තුවාල හේතුවෙන් මරණ සිදුව ඇති බවයි.
යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නඩරාජා කජන් සහ විජය කුමාර් සුලක්ෂන් යාපනය – කන්කසන්තුරේ මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොකුවිල් ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂට පත්වුනේ 2016 වසරේ ඔක්තෝබර් 21 වැනිදා අලුයමයි.
යතුරුපැදිය අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ බව එවක පොලිසිය පැවසුවා.
කෙසේ වෙතත් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් රියදුරුවරයෙක් අත්අඩංගුවට ගෙන නඩුවක් ක්‍රියාත්මක වූ අතර, පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.මයුරදන් මහතා විසින්.
පොලිසිය පැවසුවේ සිසුන් එම අවස්ථාවේ බීමතින් සිටි බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී ඇති බවයි.
කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන් සිසුවාගේ මරණය සිදුවන විට ඔහුගේ අමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750 ක් පමණ තිබූ අතර මත්පැන් දක්නට නොලැබුණු බවයි.
යතුරුපැදිය නොනවත්වා ධාවනය කළ අවස්ථාවේ වෙඩි තැබූ බව පොලිසිය ප්‍රකාශකළ ද යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන්ගේ පපුවේ තනපුඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවත් උණ්ඩය ඇතුළුවූ ස්ථානයේ සෙන්ටිමීටරයක පමණ වට ප්‍රමාණයකින් යුත් සිදුරක් තිබූ බවත් මරණ පිරීක්ෂණ වාර්තාවේ සඳහන්.
මීට අමතරව එහි දැක්වෙන්නේ ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල 3ක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් 2ක්ද හඳුනාගෙන ඇති බවයි.
යතුරුපැදියේ පසුපස ගමන් කළ නඩරාජා කජන් මරණයට පත්වන අවස්ථාවේ ඔහුගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබූ බවත් මත්පැන් පානය කළ බවට හඳුනාගත නොහැකි බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.
එහි දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල 7ක්ල සීරීම් තුවාල සහ අස්ථි බිඳුම් ද හඳුනාගත හැකි බවයි.
ඒ අනුව මරණ පරීක්ෂණ වාර්ථාවේ දැක්වෙන්නේ තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් නඩරාජා කජන්ගේ මරණය සිදුවී ඇති බවයි.
සිසුන් දෙදෙනාගේ මරණය සිදු වූ අවස්ථාවේ පොලිසිය කළ ප්‍රකාශ සහ සිසුන්ගේ මරණ පරීක්ෂන වාර්ථාවල දැක්වෙන් කරුණුවල පවතින පරස්පරතා පිළිබඳ අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා.