Gossips

පොලිස් නිලධාරියෙකුට මැර ප්‍රහාරයක්

ගාල්ල – අක්මීමන ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ පහරදීමකින් බෙන්තොට පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් නිළධාරියාට පහරදුන් සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
බෙන්තොට පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයට අනියුක්තව රාජකාරී කරන රුවන් කුමාර නමැති පොලිස් කොස්තාපල්වරයාට ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයෙකුගෙන් තර්ජනයක් පවතින බවට අක්මීමන පොලිසියට ඊයේ පස්වරුවේ පැමණිල්ලක් කර තිබෙනවා.
මෙම පහරදීම සිදුකළ බවට පැවසෙන පස් අනුර නමැත්තා පිළිබඳ මීට පෙර අවධානය යොමුවුණේ පසුගිය ජනවාරි 23 වැනිදා ගාල්ල බූස්ස ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය හෙලිදරව් කරමින් මියගිය තරුණයින්ගේ ඥාතීන්ට ලැබුණු ලිපියකින්.
එහි සඳහන් වුණේ තරුණයින් දෙදෙනා පැහැර ගැනීමට භාවිත කළ වෑන් රථය මෙම පහරදීමටද සම්බන්ධ පස් අනුර නමැත්තාට අයත් බවයි.
අදාළ නිර්ණාමික ලිපියේ සඳහන්ව තිබූ තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණ කර ගත්තා.
පොලිස් කොස්තාපල්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ප්‍රදේශයෙන් පලාගොස් ඇති පහරදීමට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.

rn