Gossips

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය මත්පැන් පානය කරන වීඩියෝව එළියට

බීමත්ව සිටි බව කියන වෛද්‍යවරියක පැදවූ මෝටර් රථයක් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියේදී කලුබෝවිල ශික්ෂණ රෝහල අසත්‍ය වාර්තා ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට කරුණු වාර්තාකරන බව පොලිසිය පවසනවා.
අප කළ විමසීමකදී පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසුවේ අනතුර සිදුකළ වෛද්‍යවරිය සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී වෛද්‍යවරියක පැදවූ මොටර් රථයක් මාර්ගයේ වැරදි මංතීරුවේ ධාවනයවී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් මොටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වුණේ පසුගිය මස 30 වැනිදා අළුයමයි.
අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්වුණා.
අනතුර සිදුකළ වෛද්‍යවරිය බීමතින් සිටි බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ අතර ඇය නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර පොලිසිය සිදුකළ ශ්වසන වායු පරීක්ෂණයේදී බීමත්ව සිටින බව හෙළි වූ අදාළ වෛද්‍යවරිය මූලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කෙරුණු අවස්ථාවේ වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ ඇගෙන් මත්ද්‍රව්‍ය දුගඳක් වහනය නොවන බවයි.
නමුත් අනතුර සිදුකළ වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී මත්පැන් පානය කළ බවට, එහිදී ඇය වෙනුවෙන් සේවය සැපයූ වේටර්වරයා කටඋත්තරයක් ලබාදී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.
අනතුර සිදුවීමට පෙර දින රාත්‍රියේ අදාළ වෛද්‍යවරිය හෝටලයක කිසියම් පිරිසක් සමඟ සිටින බව කියන සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් ද අප වෙත ලැබී තිබෙනවා.
මේ අතර පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේල අදාළ වෛද්‍යවරිය මත්පැන් පානය කර නොමැති බවට අසත්‍ය වාර්තාවක් ලබාදුන් කලුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ද මේ සමබන්ධයෙන් දැනුවත් කරන බවත් අනතුර සිදුකළ වෛද්‍යවරිය සම්බන්ධයෙන්ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.