Gossips

පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුරට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු විශේෂඥ වෛද්‍යවරිය මේ මස 30 වන දා දක්වා අද (16) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදියි.
මෙම වෛද්‍යවරිය අද දිනයේදී ද අධිකරණයට රැගෙනවිත් නොතිබුණ අතර බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇයව බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත රැගෙන ගොස් ඇති බවයි.
තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට වෛද්‍යවරියගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඊට පොලිසිය විරෝධය පළ කළේ ඇයට ඇප ලබාදුනහොත් සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශණවලට බාධා සිදුවිය හැකි බවට පවසමින්.
ඒ අනුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.
කොළඹ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂවරයෙකුට මරු කැදවමින් බොරලැස්ගමුවේදී අදාල විශේෂඥ වෛද්‍යවරිය විසින් මෙම අනතුර සිදුකර තිබුණේ පසුගිය 30 වනදායි.
මෙම වෛද්‍යවරිය බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ ඇති බවට ප්‍රකාශ කෙරුණ ද ඇයව කළුබෝවිල රෝහලට ඉදිරිපත් කර ලබාගත් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බීමතින් නොසිටි බවට ප්‍රකාශ වී තිබුණා.
එහෙත් පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ අවස්ථාවේදී කළ ස්ථානීය බැලුම් පරීක්ෂාවේදී ඇය බීමතින් සිටි බවට අනාවරණ වූ බවයි.
මේ අතර, අලි ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 07 දෙනාට මේ මස 26 වන දා පෙනී සිටින ලෙස විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා.