Gossips

පොලිස් කණ්ඩායම් දෙකක් කරන්දෙණිය පීරයි

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් දෙකක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු විදේශගතව සිටින පාතාල සාමාජික කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඊයේ රාත්‍රියේ උප සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණි මොහු ඌරගස්මංහන්දිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට පත් වුණා.
22 හැවිරිදි එම සැකකරුගේ ගමන් මල්ලේ තිබී ටී – 56 මැගසිනයක් සහ උණ්ඩ 30ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
ඊයේ රාත්‍රියේ ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේදී විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී පැමිණෙමින් සිටියදී කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.
එහිදී කැබ් රථයේ සිටි රියදුරුගේ එක් අතකට ද තුවාල සිදුව තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර අතර, එහිදී කැබ් රථයට වෙඩි ප්‍රහාර 15ක් එල්ල වී තිබීම ද විශේෂත්වයක්.
සැකකරුවන් වෙඩි තැබීම සිදුකර පළා යමින් සිටියදී අදාළ යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයට මීටර් 100ක් දුරින් අනතුරකට ලක්වී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබුණා.
පසුව ඔවුන් එය අතහැර දමා පළා ගොස් තිබුණත් ඔවුන්ගේ ජංගම දුරකථන දෙකක් එම ස්ථානයේ තිබී පොලීසියට හමුවුණා.
48 හැවිරිදි ඩොනල්ඩ් සම්පත්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.
ඔහු සහ විදේශගතව සිටින පාතාල නායක කොස්ගොඩ සුජී අතර කලක පටන් ආරවුලක් පැවති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.