පොලිස් නිළධාරීන්ගේ අණනොතකා ධාවනය කළ යතුරු පැදිකරුවන් දෙදෙනෙකු සහ පසුපැදිකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් වටවල ප්රදේශයේදියි.
තවත් යතුරුපැදිකරුවන් පිරිසක් සමඟ ශ්රී පාදස්ථානය වන්දනා කිරීමෙන් අනතුරුව යළි කොළඹට පැමිණෙමින් සිටියදී හැටන් මල්ලිඅප්පුව ප්රදේශයේදී පොලිස් නිළධාරීන් විසින් යතුරුපැදි නවත්වන ලෙසට අණකර තිබෙනවා.
එහිදී එම යතුරුපැදිකරුවන් අණ නොතකා ධාවනය කර ඇති අතර පසුව වටවල පොලිස් ස්ථානය ඉදිරිපිටදීද සැකකරුවන් නතරකිරීමට පොලිසිය උත්සාහ ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් රාජකාරියේ නියැලී සිටි නිලධාරීන්ට තුවාල සිදුකරමින් අණනොතකා ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුව සැකකරුවන් සිව්දෙනා අදාළ යතුරුපැදි දෙක සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පැළඳ සිටි එක් හිස්වැසුමක පොලිසියට අපහාස වන අන්දමින් සටහනක් ද යොදා තිබූ බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 25ත් අතර අය බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සිව් දෙනා හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
rn