Gossips

පොලිස්පති ස්කොට්ලන්තයට

පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන සතියේදී ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
පොලීසියේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ ප්‍රජා පොලිස් ඒකකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගිවීමේ අරමුණින් ඔහු මෙම සංචාරයට එක්වනු ඇති.
පොලිස්පතිවරයා සමඟ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙකුද සංචාරයට සහභාගිවීමට නියමිතයි.
ලබන 30 වනදා මෙම සංචාරය ආරම්භවන අතර, එහිදී පොලිස්පතිවරයා ඇතුලු නියෝජිත පිරිස ස්කොට්ලන්තයේ පොලිස් ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි නීතිය හා සාමය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර පොලිස්පතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණීලි සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත් කළ කමිටුව ලබන සතියේදී එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවී ඇති අල්ලස් චෝදනා මෙන්ම ඔහු සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව සොයාබැලීමට පත්කළ මෙම කමිටුවෙහි සාමාජිකයින් සංඛ්‍යාව තුනක්.