Gossips

පොල්ගහවෙල අනතුර සිදුකළ දුම්රියේ, රියදුරු ඇතුළු හතරකගේ වැඩ තහනම්

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රියේ රියදුරු, රිය සහායක, නියාමක සහ උප නියාමක යන හතරදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ අනතුර සිදුකළ කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ රාජකාරියේ නිරත වූ හතරදෙනාගෙයි.
විධිමත් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵලය ලැබෙන තුරු තාවකාලිකව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම වෙත නියෝග කර ඇති බවයි.
ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කරනු ලැබුවා.
පසුගිය 2011 වර්ෂයේ සැප්තැම්බර් 17 වන දා අලව්ව දුම්රිය ස්ථානය අසළ දී දුම්රිය 3ක් එකිනෙක ගැටී සිදුවූ අනතුරේදී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ එන්ජිමම ඊයේ අනතුරට ලක්වීම විශේෂත්වයක්.
කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියට යොදවා තිබුණේ ද මෙම එන්ජිම බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.
ඊයේ සිදුවූ මෙම අනතුරෙන් දුම්රියට සහ මාර්ගයට සිදු වූ පාඩුව රුපියල් කෝටි දෙකකට ආසන්න බවට වාර්තා වනවා.
අනතුරෙන් පුද්ගලයින් 32කට තුවාල ලැබූ අතර, ඉන් 29 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 8 දෙනෙකු, කෑගල්ල මූලික රෝහලේ 16 දෙනෙකු සහ 4 දෙනෙකු රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
දුම්රිය සංඥා නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවට වාර්තා පළ වූ අතර ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දුම්රිය සංඥා සේවක සංගමයෙන් විමසීමක් කළා.
එහි සභාපති ආර්.එම්. කරුණාගොඩ කියා සිටියේ අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ නියමිත පරිදි සංඥා යොදා තිබූ බවයි.
කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ රියදුරා සංඥා නොතකා දුම්රිය ධාවනය කර ඇති බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙම චෝදනාව සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ දුම්රිය රියදුරාගේ ධාවනයේ යම් ගැටළු සහිත තත්ත්වයක් සහ සන්නිවේදන ගැටළු කිහිපයක් හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවටයි.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් නතර කර තිබුණා.
පසුව කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර කර තිබූ දුම්රියෙහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
අනතුර හේතුවෙන් අවහිර වී තිබූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් අද උදෑසන සිට යථා තත්ත්වයට පත් කොට දුම්රිය ධාවනය සිදුකෙරුණා.
අනෙක් මාර්ගය ද අද පස්වරුවේ යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.