Gossips

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද, ජනපති ලන්ඩන් නුවරට ලඟා වෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව එක්සත් රාජධානියේදී අද (16) ආරම්භ වනවා.
එය ලබන 20 වනදා දක්වා පැවැත්වෙන්නේ සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.
සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (15) දිවයිනෙන් පිටත්ව ගිය අතර, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 11ට පමණ ජනාධිපතිවරයා ලන්ඩනයට ළඟාවූ බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළඹෙන 19 වනදා රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගි වන අතර 18 වනදා පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස එක්වීමට නියමිතයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් පොදුවේ මුහුණපා සිටින අභියෝග පිළිබඳව සහ තරුණ කොටස් ඇතුලුව සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම යන කරුණු පිළිබඳව සලකා බැලෙන අවස්ථාවක් ලෙස මෙම රාජ්‍ය නායක සමුළුව හඳුන්වාදිය හැකියි.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලන්ඩන් නුවරදී පැවැත්වෙන්නේ පොදු අනාගතයක් උදෙසා යන තේමාව යටතේයි.
මෙහිදී අනෙක් ස්වාධීන සාමාජික රාජ්‍ය සමඟ පවතින සහයෝගිතාව පුුළුල් කිරීමට ද කටයුතු කෙරෙනු ඇති.