Gossips

පොතුවිල් ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 3 ක් තවමත් අතුරුදන්

පසුගිය ජුනි මස දෙවනදා පොතුවිල් – උල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙකු අතුරුදන් වී මාස තුනක් ගතව ඇතත්, ඔවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ඔවුන්ගේ ඥාතීන් පවසනවා.
එදින අලූයම 4 ට පමණ මොවුන් ධීවර කටයුතු සදහා මුහුුදු ගොස් ඇති අතර, උදෑසන 10 පමණ වනතුරු යළි නොපැමිණීම හේතුවෙන් ධීවරයින්ගේ ඥාතීන් නාවික හමුදාවට දැනුම්දීමට කටයුතු කර තිබුණා.
නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර ජනතාව එක්ව අතුරුදන්වූ ධීවරයින් සෙවූ නමුත් ඔවුන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබුණු බවයි ඥාතීන් සදහන් කළේ.
මේ අතර, පසුගිය සිකුරාදා මන්නාරම මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ යාත්‍රාවක සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ ධීවරයන් තුන්දෙනාගෙන් එක් අයෙකු මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් දෙදෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙම ධීවරයින් මන්නාරම, පාලමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.