Gossips

පේරාදෙණිය සරසවි සිසුන් පහරදුන් විශේෂඥ වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම පහරදීම සිදුකල ශිෂ්‍යයින් සියලු දෙනා කඩිනමින් අත්අඩංගුවට නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.
ගලහ නගරයට ගමන්කරන අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් ඇති මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගයේ සිය මෝටර් රථය නවත්වාගෙන සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතාට පසුගිය 03 වනදා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පහර දී තිබෙනවා.
ඒ විශ්වවිද්‍යාලයට අයත් එම මාර්ගයේ වාහන නතර කළ නොහැකි බව පවසමින්.
එහිදී වෛද්‍යවරයා සිසුන්ට පවසා ඇත්තේ තමන් ප්‍රතිකාර කරන ස්නායු රෝගියෙකුගේ තත්ත්වය බරපතල බව දන්වමින් අනුරාධපුර රෝහලෙන් ආ දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට එම ස්ථානයේ මෝටර් රථය නතර කළ බවයි.
විශ්වවිද්‍යාලයේ හිල්ඩා නේවාසිකාගාරයද මීට ආසන්නයේ ඇති බවත් කිසිසේත්ම එහි වාහන නැවැත්වීම සිදුකල නොහැකි බවත් පවසමින් සිසුන් වෛද්‍යවරයා සමග බහින් බස්වී තිබෙනවා.
එම සරසවියේම විද්‍යාර්ථයෙක් වන යොහාන් කෝරළගේ මහතා සිසුන්ගෙන් විමසා ඇත්තේ එවැනි නීතියක් පැනවූයේ කුමන කාලයේද යන්නයි.
බහින්බස් වීම අතරතුර සිසුන් පිරිස විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට අමානුෂික ලෙස පහරදී තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලබා සිහිසුන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ අතර දින දෙකක් ප්‍රතිකාර ලබා සිය නිවස බලා පිටත්ව ගොස් තිබුණා.
පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට ඇතුලත් කෙරුණු ඔහු මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.