Gossips

පේරාදෙණිය සරසවි පාලන අධිකාරියෙන් සිසුන්ට උපදෙස් මාලාවක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා පරිශ්‍රය තුළ සිසුන් රැදී සිටිමින් එහි සාමාන්‍ය පරිපාලනයට හා අධ්‍යයන කටයුතුවලට බාධා කළහොත් සියළුම පීඨවල අධ්‍යයන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක සඳහන් කළේ එම ක්‍රියාවලට සම්බන්ධ සියළුම සිසුන් වෙත දැඩි විනයානුකූල පියවර ගනු ලබන බවයි.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා පරිශ්‍රය තුළ රැදී සිටීම හේතු කොටගෙන යම් විනය කඩ කිරීමක් සිදුවී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා විනය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව මගිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පේරාදෙනිය විශ්වවිද්‍යාලය ලබන සඳුදා විවෘත කරන බව උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ප්‍රකාශ කළා.
මාස දෙකක කාලසීමාවක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමටයි පසුගිය දා එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කළේ.
ඒ, ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.
එමෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය උපුල් දිසානායක වැඩිදුරටත් කියා සිටියේ එක් එක් පීඨයන්හි පීඨාධිපතිවරුන් විසින් තම පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලබන දිනය තීරණය කර දැනුම් දෙනු ඇති බවයි.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර සෙසු සියළු පීඨ යළි විවෘත කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහීල් බණ්ඩාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙය විශ්වවිද්‍යාල සිසුන් කේවල් කිරීම සඳහා ගත් තීරණයක් බවයි.