Gossips

පේරාදෙණියේ සිසුන්ගේ පහරකෑමට ලක්වූ ස්නායු වෛද්‍යවරයා තවමත් රෝහලේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
එහි ප්‍රකාශිකාවක කියා සිටියේ ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ ගලහ ප්‍රදේශයට ගමන් කරමින් සිටි ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වුණේ පසුගිය 3 වන දායි.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා නේවාසිකාගාරය ආසන්නයේ මෝටර් රථය නතර කර දුරකථන ඇමතුමක් ගනිමින් සිටි වෛද්‍යවරයාට සිසුන් පහර දී ඇත්තේ එම ස්ථානයේ වාහන නැවැත්වීමට අවසර නොමැති බව පවසමින්.
පසුව මේ පිළිබදව පේරාදෙණිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු පසුගිය 8 වන දා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එමෙන්ම පේරාදෙනිය පොලීසිය කියා සිටියේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර ශිෂ්‍යයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ සහය ඉල්ලා ඇති බවයි.
මේ අතර, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය ශෂික විතානගේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අසමත් වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.