Gossips

පෙළපාලි 6කින් ජන බලය කොළඹට – පොලීසියේ 5000 ක් සීරුවෙන්

ඒකාබද්ධ විපක්ෂය අද පස්වරුවේ කොළඹදී පවත්වන ජනබලය කොළඹට විරෝධතා රැළියට සහභාගි වීම සඳහා පෙළපාලි 6 කින් ජනතාව පැමිණෙමින් සිටින බව ඔවුන් පවසනවා.
උතුරු, උතුරුමැද, මධ්‍යම, දකුණු, සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් මෙම පෙළපාලි කොළඹට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙලෙස පැමිණෙන පෙළපාලි මධ්‍යහ්න 12 ත් පස්වරු 2 ත් අතර කාලසීමාව තුළ කොළඹ එක් ප්‍රධාන ස්ථානයකදී එක්වීමට නියමිතයි.
ඉන් පසුව, විරෝධතා රැළිය පැවැත්වීමට නියමිත බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා නියෝජිතයන් කිහිපදෙනෙකු කොළඹ සෑම ප්‍රධාන මංසන්ධියකම යොදවා ඇති බව සඳහන්.
විරෝධතා රැළිය පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානය සහ බොරැල්ල කැම්බල් පිටිය මුදල් ගෙවා වෙන් කරගෙන ඇති බවද වාර්තා වනවා.
මේ අතර, කොළඹ සිටින ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ද අද පෙරවරුවේ පැවතුණා.
එහිදී අද දිනයේ ඉදිරි පැය කිහිපය තුළ විරෝධතා රැළියේ කටයුතු මෙහෙය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ජන බලය කොළඹට විරෝධතා රැළියට සහභාගි වීම සඳහා මධ්‍යම පළාතේ සිට පැමිණෙන ජනතාව අද පෙරවරුවේ අපහසුතාවන්ට මුහුණ දී ඇති බව වාර්තා වුණා.
ඊට හේතුවූයේ නිට්ටඹුව නගරාසන්නයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේ විශාල ප්‍රමාණයේ වලක් කපා තිබීමයි.
එය පෙළපාලියට පැමිණෙන ජනතාව වැළැක්වීම සඳහා යෙදවූ උපක්‍රමයක් බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා.
කෙසේ වෙතත්, නිට්ටඹුව පොලීසියෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ පුපුරා ගිය ජලනලයක් පිළිසකර කිරීම සඳහා මෙම වළ හාරා ඇති අතර, එය තවත් පැය කිහිපයකින් යථා තත්ත්වයට පත් කිරීමට නියමිත බවයි.
එමෙන්ම, ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට බදුල්ල – බෝගහමඩිත්ත ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම බස් රථයට පිරිස් එක්රැස් කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බවයි එහි සංවිධානය කටයුතුවල නිරත වූ කාන්තාව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

අද පැවැත්වෙන ජන රැළියට කඩවත නගරයේ සැරසිලි කරමින් සිටි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට පෙරේදා රාත්‍රී කිසියම් පිරිසක් පහරදී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ඔවුන්ට මෙලෙස පහරදී ඇති බවයි.
පහරකෑමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
දකුණු පළාතේ සිට ජනතාව රැගෙන පැමිණෙන බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගයට අද පෙරවරු 10ට පමණ ගොඩගම පිවිසුමෙන් ප්‍රවේශ වී ඇති බව වාර්තා වනවා.
අද දිනයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 5000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
පොලිස් රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ සඳහන් කළේ මහජන පීඩාවන් ඇති වන පරිදි කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය ද අද පැවැත්වෙන ජනබලය කොළඹට විරෝධතාවය පිළිබඳව අවධානය යොමුකර තිබුණා.
එහිදී මෙම විරෝධතා පෙළපාලි හේතුවෙන් ජනතාවට ඇතිවිය හැකි බාධාවන් පිළිබඳව අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ.
මෙහිදී ජනාධිපතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ කිසිදු හේතුවක් මත මෙම විරෝධතා පෙළපාලි පාලනය කිරීම සඳහා අවි භාවිතා නොකළ යුතු බවටයි.
මහජන දේපලවලට හානියක් සිදුවුවහොත් පමණක් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය බවට ද සාකච්ඡා වී තිබෙනවා.
ජනබලය කොළඹට විරෝධතා පෙළපාලියට සහභාගි වීම සඳහා කොළඹ ජනතාව පැමිණෙමින් සිටින ආකාරය සම්බන්ධයෙන් අප කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ දහවල් 12 වන විට කොළඹට ජන බලය පැමිණෙන බවත් පස්වරු 2 ට උද්ඝෝෂණය ආරම්භ කරන බවයි.
අද කොළඹදී පැවැත්වෙන මෙම විරෝධතාවය සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.
එමගින් සඳහන් කර ඇත්තේ ඇමරිකාවේ සිට කොළඹට පැමිණෙන ජනතාව මෙම විරෝධතාවය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.