Gossips

පෙරහර නිමා කිරීමේ සන්නස් පත්‍රය ජනපතිට

මහනුවර ඓතිහාසික ඇසල පෙරහර සාර්ථකව අවසන් වූ බවට දැක්වෙන සන්නස් පත්‍රය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද (26) පස්වරුවේ භාර දුන්නා.
මහනුවර – අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරයෙන් පිටත් වුණු දහවල් පෙරහර සිව් මහා දේවාල පෙරහරත් සමඟ දළදා මාළිගයට ගෙවදීමෙන් අනතුරුවයි පෙරහර සාර්ථකව නිමා වූ බවට දැක්වෙන සන්නස් පත්‍රය ජනාධිපතිවරයා වෙත භාර දී ඇත්තේ.
එහිදී ජනාධිපතිවරයා විසින් ඓතිහාසික ඇසල පෙරහරේ කුසලතා දැක්වූ කලාකරුවන් 50 දෙනෙකුට ත්‍යාග සහ සහතික පත් ලබාදී තිබෙනවා.
එමෙන්ම හෙට (27) දිනයේ සිට මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ වලි – යකුන් මංගල්‍යය ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (26) පෙරවරුවේ විවෘත කරනු ලැබුවා.
මෙම රන් වියන අලුත්වැඩියාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 45 ක් වැය කර තිබෙනවා.
වර්ග අඩි 3450 කින් යුත් මෙම රන් වියන ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණේ වසර 16 කට පසුවයි.
එමෙන්ම අස්ගිරි පාර්ශවයේ අනුනානයක, පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගල් පිළිමය’ ග්‍රන්ථය එළිදැක්වීම ද අද සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
අස්ගිරි – ගෙඩිගේ රජමහා විහාරස්ථානයේදී පැවති මෙම උත්සවයට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද එක්ව සිටි අතර ඔහු එහිදී කියා සිටියේ බුද්ධ ශාසනයට අගෞරව වන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් වැළැක්වීමට පියවර ගන්නා බවයි.
මේ අතර, මහනුවර – බොක්කාවල – මොරන්කන්ද ශ්‍රී ඥානාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පූජෝත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) එක්වුණා.