Gossips

පෙත්සම් විභාගය අවසන් – තීන්දුව ලබාදෙන දිනයක් ප්‍රකාශයට පත් නොකෙරේ – එතෙක් අතුරු තහනම දිගු වෙයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම තීන්දුව ලබාදෙන තුරු දීර්ඝ කර තිබෙනවා.
මීට පෙර අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණේ ලබන සඳුදා දක්වායි.
කෙසේ වෙතත් තීන්දුව ලබාදෙන දිනයක් අද පෙත්සම් විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ නොකළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
අද දිනයේ ආරම්භයේදී මෙම පෙත්සමට අදාළව අතරමැදි පාර්ශවකරුවන් විසින් තවදුරටත් කරුණු දැක්වීම සිදුකළ අතර, එහිදී පළමුව නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය කරුණු දැක්වූවා.
ඔහු සඳහන් කළේ ජනාධීපතිවරයාට ලබාදී තිබෙන විධායක බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.
ඉන් අනතුරුව තවත් නීතීඥයින් කිහිපදෙනෙකු අතරමැදි පාර්ශවයන් වෙනුවෙන් කරුණු දැක්වීම සිදුකර තිබෙනවා.
අවසානයේදී අතරමැදි පාර්ශවයන් ලෙස මැදිහත්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දසදෙනෙකු වෙනුවෙන් නීතීඥයින් සිය කරුණු දැක්වීම් සිදුකළ අතර, ඉන් අනතුරුවයි පෙත්සම්කාර පාර්ශවයට යළිත් පිළිතුරු ලබාදීම සඳහා අවස්ථාව හිමිවුණේ.
එහිදී අතරමැදි පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ තර්කවලට ප්‍රති පිළිතුරු ලබාදීම පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥයින් විසින් සිදුකරනු ලැබුවා.
ඒ අනුව පළමුව පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥයින් නීතිපතිවරයා පෙරේදා දැක්වූ කරුණු සම්බන්ධයෙන් සිය ප්‍රතිතර්ක ඉදිරිපත් කළා.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාව මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බවට නීතිපතිවරයා සිය කරුණු දැක්වීමේදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අද පෙත්සම්කාර පාර්ශවය පෙන්වාදුන්නේ ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය මගින් ජනාධිපතිවරයාට 19 වන සංශෝධනයට පෙර ලබාදී තිබූ මුක්තිය ඉවත් කර ජනාධිපතිවරයා ගන්නා විධායක ක්‍රියාමාර්ග, මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අභියෝගයට ලක් කිරීමට අවස්ථාව සළසා ඇති බවයි.
ඒ අනුව ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය ප්‍රකාරව යම්කිසි පුරවැසියෙකුට ජනාධිපතිවරයාගේ ඕනෑම විධායක ක්‍රියාවක් අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව පවතින බව ඔවුන් සඳහන් කළා.
එබැවින් ව්‍යවස්ථාවේ 33 2 සී වගන්තියේ දැක්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධීපතිවරයා සිදුකර ඇත්තේ විධායක ක්‍රියාවක් බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥයින් පෙන්වා දුන්නා.
එමෙන්ම අතරමැදි පාර්ශවයන් විසින් මීට පෙර ව්‍යවස්ථාවේ 62 – 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පූර්ණ බලතල පවතින බව ප්‍රකාශ කළත් එහි සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවිය හැක්කේය යනුවෙන් පමණක් බවයි පෙත්සම්කාර පාර්ශවය කියා සිටියේ.
එසේම 70 වන වගන්තියෙන් වසර හතරහමාරක් ගතවනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාවක් නොමැති බව සඳහන් වන්නේ යැයි ඔවුන් තර්ක කළා.
ව්‍යවස්ථාවේ හැත්තෑව තුන වගන්තියේ පාර්ලිමේන්තුව වාර අවසාන කළ අවස්ථාවකදී ජනාධීපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව සඳහන් බවද පෙත්සම්කාර පාර්ශවය මෙහිදී කියා සිටියා.
කෙසේ වෙතත් ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව එය සිදුකළ යුතු බවත්, ඒ අනුව වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවත් ඔවුන්ගේ තර්කය වුණා.
මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන ප්‍රශ්න කර සිටියේ පාර්ලිමේන්තුව තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් එය විසුරුවා හැරීමට නොහැකි තත්වයක් මතුවුවහොත් ඊට තිබෙන විසඳුම කුමක්ද යන්නයි.
තුනෙන් දෙකක බලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය නොකර සිටීමේ හැකියාවද ජනාධිපතිවරයාට පවතින බවද ඊට අදාළව තර්ක ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥයන් සඳහන් කළා.
කෙසේ වෙතත් ඔවුන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවීම විරල බවයි.