Gossips

පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (24) පස්වරුවේ අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙනවා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය දැනට තැන්පත් කර ඇත්තේ අනුරාධපුරය – ශ්‍රී සාරානන්ද පිරිවෙන් පරිශ්‍රය තුළයි.
ශ්‍රී දේහය රැගත් රිය පෙරහර අද පස්වරු 2ට අනුරාධපුර සාරානන්ද පිරිවෙනෙන් පිටත් වන බවයි ආදාහන කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් පසුගිය අඟහරුවාදා අපවත් වන විට 80 වන වියේ පසුවුණා.
සාමයික සහ ජාතික සංහිදියාව විෂයෙහි සමානාත්මතාව සිල් පදයක් සේ ඇදහූ උන්වහන්සේ අපවත් වන්නේ රටට අවශ්‍යම සමයක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
දුගී, දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා සෙවනක් අහිමි ජනතාවට නිවහන් තනා දෙමින් ආනන්ද හිමියන් නිහඬ, ගෞරවනීය සමාජ සත්කාරයක නිරත වූ බවයි ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් සදහන් කළේ.
උන්වහන්සේගේ කැප කිරීම ප්‍රගතිශීලී මානව, දයාව පිළිබද සහතිකයක් බව ද ජනාධිපතිවරයාගේ ශෝක පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර, අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් රටේ යහපැවැත්ම වෙනුවෙන් ගෙන ගිය අරගලයට ඍජු නායකත්වයක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ශෝක පණිවුඩයෙන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ අපේක්ෂා කළ යහපත්, සාධාරණ සමාජය ගොඩ නැගීම සියළු දෙනාගේ අරමුණ විය යුතු බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ සඳහන්.