Gossips

පුද්ගල මරණයකට විරෝධය පා ගම්වාසීන් කටුවන පොලීසිය වටලයි – පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්

කටුවන – බෙංගමු කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගෙන ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කටුවන පොලීසිය වටලා තිබෙනවා.
ප්‍රකෝප වූ පිරිස් පොලීසිය ඉදිරිපිට ටයර් පුළුස්සමින් පොලීසියට දෙසට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කළ බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශවාසින් 500 කට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි බවද වාර්තාවනවා.
පැය හතරහමාරකට ආසන්න කාලයක් පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර පොලිසිය විසුරුවා හැර ඇත්තේ රාත්‍රි 11යි 30ට පමණයි.
ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීමක් කටුවන පොලීසිය සිදුකර ඇත්තේ ඊයේ රාත්‍රියේයි.
එහිදී බෙංගමුව කන්ද ප්‍රදේශයේදී මාර්ගය අසළ පුද්ගලයෙකු මියගොස් සිට තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා පොලීසිය විසින් පරීක්ෂා කළ බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ පොලිස් පහරදීමකින් මෙම පුද්ගලයා මියගොස් ඇති බවටයි.
මෙම පුද්ගලයාගේ මරණයත් සමඟ ප්‍රදේශවාසීන් පොලිසියට දිගින් දිගටම විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පොලීසිය වටලා ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබුණා.
සිද්ධියෙන් පොලිස් නිලධාරින් හතරදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් වලස්මුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ විරෝධතාවට පැමිණි පුද්ගලයින්ගේ යතුරුපැදි 40 ක් සහ ත්‍රිරෝද රථ 6 ක් පොලිස් භාරයට ගත් බවයි.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කටුවන රෝහලේ තබා ඇති අතර, අද දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පරික්ෂණයෙන් අනතුරුව මියයාමට හේතුව අනාවරණ වනු ඇති බවයි.