Gossips

පුද්ගල ඝාතනවලට සම්බන්ධ 4 ක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

අතුරුගිරිය සහ තලංගම ප්‍රදේශවල සිදුවූ පුද්ගල ඝාතන කිහිපයකට අදාළ සැකකරුවන් 4 දෙනෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.
එම ඝාතනය සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීමට අදාළව සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයන්ට යොදාගත් ත්‍රී රෝද රථයක් ද සොයාගෙන තිබෙනවා.
අවුරුදු 18, 32 සහ 35 වයස්වල පසුවන සැකකරුවන් අතුරුගිරිය සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්.
හිටපු යුධ හමුදා සෙබලුන් දෙදෙනෙකු ද ඒ අතර වනවා.
ජෙරා, ඈෂ්ලි, පූට්ටුවා සහ ආනා යන අන්වර්ථ නාමවලින් සැකකරුවන් හැඳින්වෙන බවටයි හෙළිවී ඇත්තේ.
ඔවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්ණ කිරීම්වලදී පසුගිය පෙබරවාරි 18 වනදා තලංගම බටපොත ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ බවට ද හෙළිවී තිබෙනවා.
එමෙන්ම පසුගිය මාර්තු 26 වනදා මාළඹේ ජෝතිපාල මාවත ප්‍රදේශයේදී නිවසකට වෙඩි තබා සාපරාධී බියගැන්වීමට සහ අලාභ හානි සිදු කිරීමට ද ඔවුන් සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙම සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මිරිහාන විශේෂ අපරාධ ඒකකයයි විමර්ශණ මෙහෙයවන්නේ.