Gossips

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්

ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභාපති අංජන සඳරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණය අද (17) නිියෝග කළා.
2010 වසරේ ජනවාරි මස 26 වනදා පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ පවතින නඩුව අද කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ඒ.එල්.එම් පටබැදිගේ හමුවේයි.
මෙම නඩුවට අදාලව මොහුට විදෙස් ගමන් තහනමක් ද පවතින අතර එම තහනම නොතකා මොහු විදෙස් ගත වීමට උත්සහ කිරීම හේතුවෙන් පසුගිය 10 වනදා කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන පසුව මොහු මුදා හරිනු ලැබුවා.
මෙම නඩුව යළි මේ මස 25 වනදා කැදවීමට නියමිතයි.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් නියෝගය නොවැම්බර් මස 12 වනදා ලබාදෙන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක දැනුම් දුන්නේ.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව මීට පෙර නඩු පවරා තිබූ අතර එහි අවසන් විත්තිකරු නොමැතිව මෙම නඩුව විභාගය සඳහායි අද පෙරවරුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේ.